2003 නොවැම්බර් මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පාලනය පිළිබඳ රාමුගත සම්මුතිය අනුමත කළ පළමු ආසියානු රට සහ ලොව සිව්වන රට ලෙස ශ්‍රී ලංකාව ඉතිහාසයට එක්විය. උද්ධමනයට සහ ආදායම් වර්ධනයට සමගාමීව දුම්කොළ බදු ක්‍රමානුකූලව ඉහළ නැංවිය යුතු බව මෙම සම්මුතියේ 6 වන වගන්තියෙන් පැහැදිලිව අවධාරණය කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද සිය සාමාජික රටවල් සඳහා ලබා දෙන කාර්මික උපදෙස් මගින් මෙම ප්‍රතිපත්තියම නිර්දේශ කර තිබේ. කෙසේ වෙතත්, 2018 සිට 2026 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ දත්තවලින් පෙන්නුම් කරන්නේ මෙම ජාත්‍යන්තර කැපවීම් ක්‍රමානුකූලව උල්ලංඝනය වෙමින් පවතින බවයි.
ශ්‍රී ලංකාව මෑත ඉතිහාසයේ වෙන කවරදාටත් වඩා වැඩි බදු ආදායමක් අය කරගන්නා පසුබිමක, සිගරට් සඳහා වන බදු කොටස නැවතත් 75%ක ජාත්‍යන්තර ඉලක්කයට ගෙන ඒම මගින් රජයට වාර්ෂිකව රුපියල් කෝටි 1,730ක අතිරේක ආදායමක් කිසිදු අලුත් බදු නීතියකින් හෝ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩි කිරීමකින් තොරව ලබාගත හැකිය. මෙහිදී සිදු වන්නේ හුදෙක් සිගරට් සමාගමේ අධික ලාභය යම් ප්‍රමාණයකින් අඩු කිරීම පමණි.
මෙය ඉතා සරල මූල්‍ය තීරණයක් වන අතර, මෙවැනි විද්‍යාත්මක සහ ආර්ථිකමය වශයෙන් සාර්ථක තීරණ ශ්‍රී ලංකාවේ බදු ප්‍රතිපත්තිය තුළ ඉතා විරල ය. රජය විසින් මේ වන විට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සියල්ලක්ම පාහේ බදු දැලට නතු කර තිබියදී, සිගරට් සමාගම සඳහා මෙවැනි වක්‍ර බදු සහනයක් ලබා දීම තවදුරටත් සාධාරණීකරණය කළ නොහැක.
















