ඉදිරියේදී ඇතිවිය හැකි බවට පුරෝකථනය කර ඇති එල්-නිනෝ කාලගුණික තත්ත්වයට මුහුණ දීම සඳහා රජය මේ වන විටත් විශේෂ සැලසුම් සකස් කරමින් පවතින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද (16) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා සඳහන් කළේ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවත්, අදාළ අමාත්‍යාංශ මට්ටමින් ගත හැකි පියවරයන් පිළිබඳව අවධානය යොමු කර ඇති බවත්ය.
එල්-නිනෝ තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි බලපෑම් විශේෂයෙන් කෘෂිකර්මාන්තය, ආහාර නිෂ්පාදනය සහ ජල සම්පත් කළමනාකරණය වැනි ක්ෂේත්‍ර කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කළ හැකි බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ලබාදී ඇති පුරෝකථනයන්ට අනුව, එළඹෙන ජූලි-අගෝස්තු මාසවලදී මෙන්ම ලබන වසරේදී ඇතිවිය හැකි තත්ත්වයන්ද සැලකිල්ලට ගෙන ඉදිරි කන්නයේ වගා කටයුතු සැලසුම් කිරීම ඇතුළු පූර්ව සූදානම් කටයුතු සිදු කෙරෙමින් පවතී.
එල්-නිනෝ තත්ත්වය හේතුවෙන් සිදුවිය හැකි හානිය අවම කරගැනීම සඳහා අවශ්‍ය සියලු පියවර කඩිනමින් ගැනීමට රජය කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
















