අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මුවාවෙන් දේශපාලන පක්ෂ නායකයින් සහ ක්‍රියාකාරීන් ඉලක්ක කර ගනිමින් පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් සිදුකරන ක්‍රියාකලාපය ‘දිනන දකුණ’ සාමූහිකය දැඩි ලෙස හෙළා දකී.
විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිලිත් ජයවීර, මහින්ද පතිරණ, අසංක නවරත්න සහ සුගීශ්වර බණ්ඩාර යන මහත්වරුන්ට එරෙහිව පවරා ඇති විමර්ශන සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් එම සාමූහිකයේ නායකත්ව මණ්ඩලය සහ විධායක සභාව වෙනුවෙන් ශිරාල් ලක්තිලක මහතා පෙන්වා දෙන්නේ, මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස බරපතළ ලෙස සීමා කිරීමක් බවයි.
‘දිනන දකුණ’ සාමූහිකය අවධාරණය කරන්නේ 2024 අංක 8 දරණ අධිකරණයට හෝ ආයතනයකට අපහාස කිරීමේ පනත යටතේ ස්වාධීන අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් පැවරීමට හෝ පවත්වාගෙන යාමට පොලීසියට නීතිමය බලයක් නොමැති බවයි. මහජන මතය මර්දනය කිරීම සඳහා CID ය විසින් මෙම පනත අවභාවිත කිරීම නීතිය විකෘති කිරීමක් බවත්, මෙය අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා සකස් කළ නීතියක් පොලිස් වාරණය සඳහා ආයුධයක් ලෙස භාවිතා කිරීමක් බවත් ඔවුන් පවසයි. තවද CID ප්‍රධානියා කෙරෙහි එල්ල වන මහජන විවේචන වැළැක්වීමට අධිකරණයේ ගෞරවය පලිහක් කර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකට නොගැලපෙන බව ඔවුහු පෙන්වා දෙති.
පාලකයින්ගේ දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස් බලය අවභාවිත කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳ වැටීමක් බවත්, පුරවැසියන්ගේ භාෂණයේ සහ හෘද සාක්ෂියේ අයිතිය සුරක්ෂිත කරන ලෙසත් ‘දිනන දකුණ’ සාමූහිකය බලධාරීන්ගෙන් දැඩිව ඉල්ලා සිටියි. නිදහස් මතධාරීන් බියවැද්දීම සඳහා ගෙනයන මෙම මර්දනකාරී ක්‍රියාවලිය වහාම නතර කළ යුතු බවද ඔවුන් අවධාරණය කරයි.
















