සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගියදා මහනුවර රදගුරු නිල නිවසේදී මහනුවර කතෝලික රදගුරු පදවියේ රදගුරු අතිඋතුම් වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
මෙම හමුවේදී දෙපාර්ශවය අතර මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයේ වත්මන් තත්ත්වය, අනාගත සංවර්ධන සැලසුම් සහ රටේ ආර්ථික හා සමාජීය කරුණු පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගැනිණි. ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ විධිමත් සෞඛ්‍ය සේවාවක් ලබා දීම උදෙසා අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී රදගුරුතුමන්ව දැනුවත් කළේය.
මහනුවර ජාතික රෝහල සහ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සංවර්ධන ව්‍යාපෘති මෙන්ම අතරමග ඇනහිට තිබූ රෝහල් ඉදිකිරීම් රජයේ ප්‍රතිපාදන යොදවමින් නැවත ආරම්භ කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව ද අමාත්‍යවරයා පැහැදිලි කළේය. එසේම, වත්මන් රජයේ නව්‍ය සංකල්පයක් වන දිවයින පුරා ස්ථාපිත කෙරෙන “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” ව්‍යාපෘතිය පිළිබඳව ද කරුණු ඉදිරිපත් කෙරිණි.
ජනතාවාදීව රජය විසින් ක්‍රියාත්මක කරන මෙම විශේෂ වැඩපිළිවෙළවල් අගය කළ අතිඋතුම් වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන්, අමාත්‍යවරයා ඇතුළු පිරිස වෙත සිය ආශිර්වාදය සහ සෙත් ප්‍රාර්ථනා කළහ. මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
















