කෝවිඩ් වසංගතයෙන් පසු ලෝක සෞඛ්‍ය අංශවල අවධානය යොමු වී ඇති තවත් බරපතළ වෛරසයක් පිළිබඳව වාර්තා වේ. මදුරුවන් මගින් සම්ප්‍රේෂණය වන ‘උසුටු’ (Usutu) වෛරසය හේතුවෙන් ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නගරයට නිරිත දෙසින් පිහිටි ඇරන් දූපතේ කළු කුරුල්ලන් අසාමාන්‍ය රෝග ලක්ෂණ සහිතව මියයමින් සිටින බව විදේශ මාධ්‍ය පවසයි.
1959 වසරේදී අප්‍රිකාවෙන් ප්‍රථම වරට හඳුනාගත් මෙම වෛරසය, මේ වන විට ස්කොට්ලන්තයේ ඇතැම් ප්‍රදේශවල ද සීඝ්රයෙන් පැතිර යමින් පවතී. උසුටු වෛරසය මූලිකව කුරුල්ලන් අතර ව්‍යාප්ත වන අතර, මදුරුවන් වාහකයන් ලෙස ක්‍රියා කිරීම මගින් එය පරිසරයට මුදා හැරේ. වෛරසය ආසාදනය වූ පක්ෂීන් තුළ විවිධ ස්නායුගත රෝග ලක්ෂණ මතු වන අතර, පසුව ඔවුන් ඉතා කෙටි කාලයකදී මරණයට පත්වේ.
මෙම වෛරසය පිළිබඳව පර්යේෂණ සිදුකරන සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ එය මිනිසුන් වෙත සම්ප්‍රේෂණය වීමේ අවදානමද බැහැර කළ නොහැකි බවයි. මේ හේතුවෙන් මියගිය පක්ෂීන් හෝ රෝගී පක්ෂීන් ස්පර්ශ කිරීමෙන් වළකින ලෙසත්, අසාමාන්‍ය ලෙස කුරුල්ලන් මියයන අවස්ථා පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කරන ලෙසත් බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටී. පරිසරයේ සමතුලිතතාවට බලපාන මෙම වෛරසය පාලනය කිරීම සඳහා ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධාන මේ වන විට දැඩි අවධානයක් යොමු කර ඇත.
















