2021 සිට 2026 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ බදු ප්‍රතිපත්තිය තුළ සිදු වූ අතිශය මතභේදාත්මක සිදුවීමක් මේ වන විට හෙළි වී තිබේ. රටේ ආර්ථිකය ගොඩනැගීමේ අරමුණින් වැට් (VAT) බද්ද ඉහළ දමා, 2.5%ක සමාජ ආරක්ෂණ දායක බද්දක් (SSCL) හඳුන්වා දී, කලින් බදු නිදහස්ව පැවති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පවා බදු දැලට නතු කරද්දී, ඉතා සූක්ෂ්ම ලෙස සිගරට් කර්මාන්තයට බදු සහනයක් ලබා දී ඇත. 2018 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාත්‍යන්තර ප්‍රමිතිය වන 75%ක බදු ප්‍රතිශතයට ආසන්නව (74%) පැවති ශ්‍රී ලංකාවේ සිගරට් බදු අනුපාතය, 2026 වන විට 66.8% දක්වා පහත වැටී තිබේ.
මෙම බදු ප්‍රතිපත්තියේ ඇති අසාධාරණකම වඩාත් තහවුරු වන්නේ කැප්ස්ටන් (Capstan) වැනි අඩු මිල සිගරට් වර්ගයක බදු ප්‍රතිශතය 8.8%කින් සහ ජෝන් ප්ලේයර් ගෝල්ඩ් ලීෆ් (John Player Gold Leaf) වැනි ජනප්‍රිය සිගරට් වර්ගයක බදු ප්‍රතිශතය 5.6%කින් පහත වැටීම හරහාය. පාර්ලිමේන්තුවේදී සිගරට් සමාගම් විසින් සිගරට් මිල ඉහළ දැමීම, රජය විසින් බදු වැඩි කිරීමක් ලෙස වරදවා වටහා ගැනීම හෝ හිතාමතාම පෙන්වා දීම මගින් මහජනතාව නොමඟ යවා ඇත. සත්‍ය වශයෙන්ම සිදුව ඇත්තේ, සමාගම් තම ලාභය වැඩිකර ගැනීමට මිල වැඩි කරන අතරතුර, රජයට ලැබිය යුතු සුරාබදු කොටස ක්‍රමයෙන් වියැකී යාමයි.
මෙම අනිසි බදු සහනය හේතුවෙන් පමණක් රජයට වසරකට අහිමි වන ආදායම රුපියල් කෝටි 1,730කි. කිසිදු අලුත් බදු නීතියක් හඳුන්වා නොදී, ජනතාවගේ එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ නොදමා, හුදෙක් සිගරට් සමාගමේ අධික ලාභය කෙරෙහි පවතින බදු ප්‍රතිපත්තිය නිවැරදි කිරීමෙන් පමණක් මෙම මුදල භාණ්ඩාගාරයට එක් කරගත හැකිය. ආර්ථික අර්බුදයකදී සෑම පුරවැසියෙකුගෙන්ම උපරිම බදු අය කරන රජයක්, සෞඛ්‍යමය වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන්ද ජාත්‍යන්තරව නිර්දේශිත බදු වැඩි කිරීමක් කළ යුතු එකම භාණ්ඩයට මෙලෙස රහසිගත සහනයක් ලබා දීම දැඩි සමාජ විවේචනයට ලක්වෙමින් පවතී.
















