ජාත්‍යන්තර ගෘහ සේවකයන්ගේ දිනය නිමිත්තෙන් විදේශගත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ‘LankaKonect’ පැමිණිලි කළමනාකරණ ජංගම දුරකථන යෙදවුම අද (16) කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී නිල වශයෙන් දියත් කෙරිණි. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේ මෙය පුරවැසි කේන්ද්‍රීය රාජ්‍ය පාලනයක් කරා යන ගමනේ දැවැන්ත හැරවුම් ලක්ෂ්‍යයක් බවයි.
මෙම නව පද්ධතිය මගින් විදේශගත ශ්‍රී ලාංකිකයන් ඉදිරිපත් කරන පැමිණිලි සම්බන්ධයෙන් අදාළ ආයතන ගනු ලබන පියවර පසුවිපරම් කිරීමට (Tracking) හැකියාව ලැබේ. තානාපති කාර්යාලය, විදේශ සේවා නියුක්ති කාර්යාංශය, අමාත්‍යාංශය සහ අදාළ පුරවැසියාගේ ජංගම දුරකථන යෙදවුම වෙත පද්ධතිය එකවර සම්බන්ධ වන බැවින් මෙහි පූර්ණ වගවීමක් සහ විනිවිදභාවයක් පවතී. විදේශගත ශ්‍රී ලාංකිකයන්ට තමන්ගේ ගැටලුව හෝ පැමිණිල්ල ලිඛිතව, හඬ පට, ඡායාරූප හෝ වීඩියෝ යන ආකාරයන්ගෙන් ඉදිරිපත් කළ හැකි වීම මෙහි තවත් විශේෂත්වයකි. ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT Mobitel) ආයතනය විසින් තාක්ෂණික දායකත්වය සපයන අතර, ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) විසින් මූල්‍යමය සහ ක්‍රියාකාරී දායකත්වය ලබා දී ඇත.
රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට විදේශගත ශ්‍රී ලාංකිකයන් ලබාදෙන දායකත්වය සිහිපත් කළ අමාත්‍යවරයා, ඔවුන් වෙනුවෙන් රාජ්‍ය මට්ටමෙන් උපරිම සේවය සැපයීමට රජය බැඳී සිටින බව වැඩිදුරටත් අවධාරණය කළේය.
















