ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකාය විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්විය. ශ්‍රී ලංකාව තිරසාර සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ සැලසුම් සහ ඒ සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කරගැනීම පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්ක ඒකාබද්ධ කරමින් සිංහරාජය, කන්නැලිය-දෙදියගල-නාකියාදෙනිය වනාන්තර සංකීර්ණය සහ හිනිදුම කඳු වැටිය කේන්ද්‍ර කර ගත් විශේෂ සංචාරක කලාපයක් සංවර්ධනය කිරීමට යෝජනා විය. මෙම කලාපය තුළ අවිධිමත් හෝටල් ඉදිකිරීම් සහ පරිසර දූෂණය පාලනය කරමින් නියාමන රාමුවක් සකස් කිරීමටත්, තේ වගාව ආශ්‍රිත සහ පාරිසරික පාදක සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීමටත් සැලසුම් කර ඇත. ඒ සඳහා ඒකාබද්ධ මෙහෙයුම් කමිටුවක් පිහිටුවීමටද තීරණය කෙරිණි.
සමුද්‍රීය සංචාරක සහ මගී ප්‍රවාහන සේවා යටතේ Capital Marine and Civil Construction (CMC) ආයතනය වසර 10ක් තුළ අදියර 3කින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති සමුද්‍රීය සංචාරක කොරිඩෝව පිළිබඳවද සාකච්ඡා විය. එහි පළමු අදියර ලෙස යාපනය කේන්ද්‍ර කරගත් මගී ප්‍රවාහන යාත්‍රා සේවා ආරම්භ කිරීමටත්, පසුව එය කොළඹ සහ ගාල්ල දක්වා ව්‍යාප්ත කිරීමටත් යෝජිතය.
සිනමා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් රූගත කිරීම් සඳහා අවසර ලබා ගැනීමේ තනි කවුළුවක් (Single Window) ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කළ අතර, චිත්‍රපට උපකරණ ගෙන ඒමේ ගැටලු නිරාකරණය කිරීමද සාකච්ඡා කෙරිණි. මීට අමතරව කොග්ගල ගුවන් තොටුපළ ආශ්‍රිතව Skydiving ප්‍රවර්ධනය, තල්මසුන් සහ ඩොල්ෆින් නැරඹීම සඳහා නව මාර්ගෝපදේශ හඳුන්වා දීම, මැරයින් ඩ්‍රයිව්හි රාත්‍රී සංචාරක ව්‍යාපාරය නංවාලීම සහ සංචාරක වීසා හා ආරක්ෂක ගැටලු පිළිබඳවද අවධානය යොමු විය.
















