ප්‍රංශයේ පැවැත්වීමට නියමිත ජී-7 (G7) රාජ්‍ය නායක සමුළුවට පෙර, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ප්‍රකට වෙළඳ ප්‍රතිපත්තියක් වන ආනයනික බදු (Tariffs) කෙරෙහි නැවතත් අවධානය යොමු කර තිබේ. ඒ අනුව, ඇපල් (Apple), ඇමසන් (Amazon) සහ මෙටා (Meta) වැනි ඇමෙරිකානු තාක්ෂණික සමාගම් මත පනවා ඇති 3%ක ඩිජිටල් බද්ද ඉවත් කිරීමට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් පියවර නොගතහොත්, ප්‍රංශ ෂැම්පේන් සහ වයින් සඳහා 100%ක දැවැන්ත ආනයන බද්දක් පනවන බවට ට්‍රම්ප් තර්ජනය කර ඇත. මෙය 2019 වසරේ සිට දෙරට අතර පවතින දීර්ඝකාලීන මතභේදයකි.
ප්‍රංශයට අමතරව, යුරෝපා සංගමයෙන් (EU) ආනයනය කරන මෝටර් රථ ඉලක්ක කිරීමට ද ට්‍රම්ප් කටයුතු කරමින් සිටී. එසේම, අනිවාර්ය ශ්‍රමික සේවය (Forced labor) සම්බන්ධ ගැටලු මුල් කරගනිමින් ජපානය, චීනය සහ ඉන්දියාවෙන් ඇමෙරිකාවට ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා 12.5%ක ආරම්භක බද්දක් පැනවීමට ද ඔහු යෝජනා කර ඇත. මේ අතර, මීට පෙර පනවා තිබූ 10%ක තාවකාලික ආනයන බද්දක කාලය ද මේ වන විට අවසන් වීමට ආසන්නව පවතී.
කෙසේ වෙතත්, මෙම දැඩි බදු ප්‍රතිපත්තිය ඇමෙරිකානු ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති. දැනට ඇමෙරිකාවේ මාසික රැකියා නියුක්තිය 188,000කින් පමණ ඉහළ යමින් ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් තිබුණද, එරට උද්ධමනය 4.2%ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙය වසර 3කින් වාර්තා වූ ඉහළම උද්ධමන අනුපාතය වන අතර, මීට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ඉරාන දේශපාලන අර්බුදය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බලශක්ති (ඉන්ධන) මිල ඉහළ යාමයි.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්
















