ශ්‍රී ලංකා සහ ඉන්දීය ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැති තරගය අතරතුර ඊයේ (15) ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමඟ ඇති කර ගත් ගැටුම්කාරී සිදුවීමක් සම්බන්ධයෙන් ඉන්දීය නැගී එන ක්‍රිකට් ක්‍රීඩක විබව් සූර්යවංශිට එරෙහිව විනය පියවරක් ගැනීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සූදානම් වෙමින් පවතින බව වාර්තා වේ. මෙම සිදුවීම ක්‍රිකට් පිටියේ විනය නීතිවලට පටහැනි බව පවසමින් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ද සිය අවධානය යොමු කර තිබේ.
ලද වාර්තාවන්ට අනුව, සූර්යවංශිගේ ක්‍රියාකලාපය හේතුවෙන් ඔහුට තරග තහනමක් හෝ දඩ මුදලක් නියම කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගනු ඇත. එමෙන්ම, අයිසීසී විනය නීති මාලාව යටතේ ඔහුට අප්‍රසාද ලකුණු පවා ලැබිය හැකි බව ක්‍රිකට් ආරංචි මාර්ග තහවුරු කරයි. ක්‍රීඩාවේ අභිමානය සහ විනය පවත්වා ගැනීම වෙනුවෙන් මෙම පියවර ගනු ලබන අතර, ඉදිරි දින කිහිපය තුළ විනය පරීක්ෂණයෙන් අනතුරුව ඔහුට හිමිවන නිශ්චිත දඬුවම ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.
















