මින්නේරිය ගොවි ව්‍යාපාරයට අයත් ගොවි සංවිධාන 22ක නියෝජිතයින් එක්ව වී සඳහා සාධාරණ මිලක් ඉල්ලා හිඟුරක්ගොඩ නගරයේදී දැවැන්ත විරෝධතාවයක නිරත විය. මෙම අවස්ථාවට වත්මන් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ බාල සහෝදරයා වන, මින්නේරිය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති බන්දුල මහානාම මහතා ද රජයට එරෙහිව සෘජුවම එක්ව සිටීම විශේෂත්වයකි. එහිදී අදහස් දැක්වූ බන්දුල මහානාම මහතා අවධාරණය කළේ, වත්මන් රජය බලයට පත් කිරීමට ඡන්දය ලබා දුන් ගොවි ජනතාව අද වන විට පාරට වැටී සිටින බවත්, ඔවුන් ඉදිරිපත් කරන ඉල්ලීම් අතිශය සාධාරණ බවත්ය.
මෙහිදී රජයෙන් දැඩි ලෙස ඉල්ලා සිටියේ වහාම රජයේ වී ගබඩා විවෘත කර, නාඩු වී කිලෝවක් රුපියල් 140ක අවම මිලකට මිලදී ගැනීමට කටයුතු කරන ලෙසයි. මීට අමතරව පොහොර මිල පහත හෙළීමට රජය වහා මැදිහත් විය යුතු බවත්, අසාර්ථක පාලනයක් ගෙනයන කෘෂිකර්ම අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා වහාම සිය ධුරවලින් ඉල්ලා අස්විය යුතු බවත් ගොවි නායකයෝ මෙහිදී අවධාරණය කළහ.
ජනාධිපතිවරයා වෙත සෘජු අනතුරු ඇඟවීමක් කරමින් ගොවි සංවිධාන නියෝජිතයින් ප්‍රකාශ කළේ, ගොවි ජනතාව පාරට බැස්සේ සාමාන්‍ය විරෝධතාවයකට නොවන බවයි. පවතින ගැටලුවලට රජය කඩිනම් විසඳුම් ලබා නොදුනහොත්, මීළඟ වතාවේ ගොවි ජනතාව කොළඹට පැමිණ රජයට එරෙහිව ඉතා තීරණාත්මක බලපෑමක් එල්ල කරන බව ද ඔවුහු වැඩිදුරටත් කියා සිටියහ.
















