යාපනය, වලිකාමම් උතුර ප්‍රදේශයේ අවතැන් වූ ජනතාව විශාල පිරිසක් තමන්ව මුල් ගම්බිම්වල යළි පදිංචි කිරීම ප්‍රමාද වීමට එරෙහිව යාපනය දිසාපති කාර්යාලය ඉදිරිපිට ඊයේ (15) දැවැන්ත විරෝධතාවයක නිරත වූහ. විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ, 1990 ජුනි 15 වැනිදා පැවති යුදමය වාතාවරණය හේතුවෙන් වලිකාමම් උතුර ප්‍රදේශයෙන් පවුල් 22,000කට ආසන්න සංඛ්‍යාවක් ඉවත් කර සරණාගත කඳවුරුවලට යොමු කළ බවයි. එලෙස අවතැන් වූ පිරිස්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් තවමත් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මණ්ඩපම් සරණාගත කඳවුරේ රැඳී සිටින බවද ඔවුහු පවසති.
මෙම විරෝධතාවය හේතුවෙන් යාපනය දිසාපති කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ ගමනාගමන කටයුතුවලට පැය හතරකට ආසන්න කාලයක් බාධා එල්ල වූ අතර, වාහන ධාවනය සඳහා විකල්ප මාර්ග භාවිත කිරීමට පොලිසිය පියවර ගෙන තිබුණි.
පසුව යාපනය දිසාපති කාර්යාලයේ උසස් නිලධාරීන් පිරිසක් පැමිණ විරෝධතාකරුවන් හමුවී ඔවුන්ගේ ඉල්ලීම් ඇතුළත් ලිපිය රජය වෙත යොමු කිරීම සඳහා භාර ගැනීමෙන් අනතුරුව විරෝධතාවය සාමකාමීව අවසන් කෙරුණි. වසර 36කට අධික කාලයක් තිස්සේ පවතින මෙම මානුෂීය ගැටලුවට වත්මන් රජය කඩිනම් සහ ස්ථිර විසඳුමක් ලබා දෙනු ඇතැයි අවතැන් වූ ජනතාව දැඩි සේ බලාපොරොත්තු වෙති.
















