ශ්‍රී ලංකා ජාතික හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග, චෙක් ජනරජයේ පැවැති කීර්තිමත් ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික් (Ostrava Golden Spike) මලල ක්‍රීඩා ශූරතාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගනිමින් ශ්‍රී ලංකාවට තවත් අභිමානවත් ජාත්‍යන්තර ජයග්‍රහණයක් අත්කර දී තිබේ.
ලෝක මට්ටමේ ප්‍රබල ක්‍රීඩකයින් රැසක් සහභාගී වූ මෙම තරගාවලියේදී මීටර් 86.57ක සුපිරි දුරක් වාර්තා කරමින් රුමේෂ් තරංග තරගයේ රන් පදක්කම තමන් සතු කර ගැනීමට සමත් විය.
පසුගියදා රෝමයේ පැවැති ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 92.62ක ඓතිහාසික වාර්තාවක් තබමින් ලෝකයේම අවධානය දිනාගත් රුමේෂ් තරංග, එම විශිෂ්ට දක්ෂතාවයෙන් දින කිහිපයකට පසුව මෙම ජයග්‍රහණය ද ලබා ගනිමින් ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ සිය ආධිපත්‍යය තවදුරටත් තහවුරු කර තිබේ.
















