දැනට ඉතාමත් ස්වාධීන මට්ටමින් සිදුවෙමින් පවතින පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන මැද්දට පැන, එම ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමට උත්සාහ කරන සියලුම පිරිස්වලට එරෙහිව තරාතිරම නොබලා තදින්ම නීතිය ක්‍රියාත්මක කරන බව ජාතික ජන බලවේගයේ (NPP) පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර පනාගොඩ මහතා පවසයි.
පාස්කු විමර්ශනවල වත්මන් තත්ත්වය පිළිබඳව මාධ්‍ය වෙත විශේෂ අදහස් දැක්වීමක් සිදුකරමින් මන්ත්‍රීවරයා අවධාරණය කළේ, ප්‍රහාරයේ සැබෑ වැරදිකරුවන් සහ සැබෑ මහමොළකරුවන් කවුද යන්න රටට හෙළි කර ඔවුන්ට දැඩිව දඬුවම් දීම වත්මන් රජයේ ප්‍රධානතම සහ පැහැර හැරිය නොහැකි වගකීමක් වන බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රී අනුර පනාගොඩ මහතා:
“කවුරුහරි කෙනෙක් මේ විමර්ශන අතරමැදට කඩා පැනලා තමන්ගේ පටු දේශපාලන අරමුණු ඉටු කරගන්න, එහෙමත් නැත්නම් ඇත්ත වැරදිකරුවන් සමාජයෙන් සඟවන්න හෝ ඔවුන්ට ආරක්ෂාව දීමේ වුවමනාවෙන් මේ සමස්ත ක්‍රියාවලියම කඩාකප්පල් කරන්න උත්සාහ කරනවා නම්, අපි ඒ දිහා නිකන් බලාගෙන ඉන්නේ නැහැ. ඒ කුමන මට්ටමක පුද්ගලයෙකු වුවත් ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න අදාළ විමර්ශන ආයතන මේ වන විටත් සක්‍රීයව ක්‍රියාත්මක වෙනවා.”
















