ඇමරිකානු එක්සත් ජනපදය සහ ඉරානය අතර ඇති කර ගැනීමට නියමිත අවසන් එකඟතා රාමුව (Framework Agreement) යටතේ, ඉරානය තුළ ආයෝජන දිරිගැන්වීම සඳහා ඩොලර් බිලියන 300ක දැවැන්ත පුද්ගලික අරමුදලක් (Private Fund) පිහිටුවීමට සැලසුම් කර ඇති බවත්, ඉන් අඩකට වඩා වැඩි මුදලක් සඳහා මේ වන විටත් ආයෝජකයන් එකඟතාව පළ කර ඇති බවත් රොයිටර් (Reuters) පුවත් සේවය විශේෂ අනාවරණයක් කරමින් ප්‍රකාශ කරයි.
මෙම සැලසුම පිළිබඳ සෘජු දැනුමක් ඇති, නම සඳහන් කිරීමට අකමැති වූ රාජ්‍ය තාන්ත්‍රික මූලාශ්‍රයක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය පවසන්නේ, දෙපාර්ශවයටම අවසන් ගිවිසුමකට පැමිණීම සඳහා ආර්ථිකමය වශයෙන් දිරිගැන්වීමක් ලෙස මෙම අරමුදල සැලසුම් කර ඇති බවයි. පසුගිය පෙබරවාරි 28 වැනිදා ඇරඹුණු ඇමරිකා-ඊශ්‍රායල සහ ඉරාන යුදමය වාතාවරණය නිමා කරමින්, ඉරානයට පනවා ඇති සම්බාධක ඉවත් කිරීමට සහ හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) නැවත විවෘත කිරීමට දෙපාර්ශවය පසුගිය ඉරිදා මූලික එකඟතාවකට පැමිණ තිබුණි.
මෙම නව අරමුදල ‘ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන අරමුදල’ (Reconstruction and Development Fund) ලෙස නම් කිරීමට නියමිතය. මෙය කිසිදු රජයක මුදල් හෝ ප්‍රදානයන් ඇතුළත් නොවන සම්පූර්ණයෙන්ම පුද්ගලික ආයෝජන යාන්ත්‍රණයක් වන අතර, ඇමරිකාව, ගල්ෆ් කලාපීය අරාබි රටවල්, ආසියාව, දකුණු ඇමරිකාව සහ අප්‍රිකාව නියෝජනය කරන ප්‍රමුඛ පෙළේ පුද්ගලික සමාගම් බලශක්ති, සැපයුම් දාම (Logistics), නිෂ්පාදන සහ ප්‍රවාහන ක්ෂේත්‍ර සඳහා මෙලෙස මුදල් ආයෝජනය කිරීමට කැමැත්ත පළ කර තිබේ. පාකිස්තාන රජයේ මැදිහත් වීමෙන් මෙම අරමුදල් එකඟතාව ගොඩනැඟී ඇති බවද වාර්තා වේ.
කෙසේ වෙතත්, ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් (JD Vance) මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ ඉරානය මෙම ඩොලර් බිලියන 300ක අරමුදලට ප්‍රවේශය ලබා ගැනීමට නම්, ඔවුන් සිය න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම අත්හැරීමට, පොහොසත් කළ යුරේනියම් තොග විනාශ කිරීමට සහ ජාත්‍යන්තරයේ දැඩි පරීක්ෂණ නීතිරීතිවලට එකඟ විය යුතු බවයි. ලබන සිකුරාදා (19) අත්සන් කිරීමට නියමිත දින 60ක අවබෝධතා ගිවිසුමෙන් පසුව, දෙරටේම එකඟතාවයෙන් යුත් අවසන් ස්ථිර ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව පමණක් මෙම අරමුදල ක්‍රියාත්මක වීමට නියමිතය.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















