මීළඟ මැතිවරණයේදී ජනතා ඡන්දය අහිමි වන සියලුදෙනා වහාම ‘හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්’ (හි.පා.ම.) බවට පත්වන බැවින්, මන්ත්‍රී ධුරය යනු තාවකාලික නියෝජිතත්වයක් පමණක් බව ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
උත්සව අවස්ථාවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අමතා සෘජු සහ දැඩි ප්‍රකාශයක් සිදුකළේය. එහිදී මන්ත්‍රී ධුරයේ ස්වභාවය සහ එහි වගකීම පිළිබඳව අමාත්‍යවරයා මෙලෙස පැහැදිලි කළේය:
“මන්ත්‍රීකම කියලා කියන්නේ මොකක්ද? මේක දොස්තර කෙනෙක්, ඉංජිනේරු කෙනෙක් වගේ වෘත්තීය රස්සාවක් නෙවෙයි. ඒක සම්පූර්ණයෙන්ම වෙනස්, සහමුලින්ම ජනතා නියෝජිතත්වයක්. මන්ත්‍රීකම කියන්නේ මිනිස්සුන්ට අයිති දෙයක්, අපිට ලැබෙන්නේ තාවකාලිකව විතරයි. ඊළඟ පාර ඡන්ද මදි වුණොත් වෙන්නේ කෙළින්ම ‘හිටපු මන්ත්‍රී’ වෙන එකයි.”
මන්ත්‍රී ධුරය සමඟ ලැබෙන බලය සහ ප්‍රසිද්ධිය ඉතා ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතු බව පෙන්වා දුන් අමාත්‍ය බිමල් රත්නායක මහතා, “මන්ත්‍රීකම එක්ක ප්‍රසිද්ධිය වගේම ලොකු ගිනි දැල්ලකුත් එනවා. අපි දැනගන්න ඕනි ඒ ගින්නෙන් පිච්චෙන්නේ නැතුව ඉන්න. පාසල් භාෂාවෙන් සරලවම කිව්වොත්, හැසිරෙන්න දන්නේ නැතුව ‘ගොනාට අඳින්නේ’ නැතුව ඉන්න ඕනි,” යැයිද වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
















