වත්මන් රජය විසින් සිදුකර ඇති රාජ්‍ය අංශයේ වැටුප් වැඩිවීම්වලට සාපේක්ෂව, 2027 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි විශ්‍රාම යන නිලධාරීන්ගේ දීමනා ද ගළපා ඉහළ නැංවීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා ප්‍රකාශ කරයි. රාජ්‍ය සේවකයා තෘප්තිමත් සේවකයකු බවට පත් කරමින් රටේ ආර්ථිකය ප්‍රසාරණය කිරීම රජයේ අවසන් අරමුණ බව හෙතෙම අවධාරණය කළේය.
ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ (III ශ්‍රේණිය) කාර්මික නිලධාරී තනතුරු සඳහා විභාගයෙන් ඉහළම සුදුසුකම් ලැබූ නිලධාරීන් 133 දෙනෙකු වෙනුවෙන් කොළඹ නිලමැඳුර ශ්‍රවණාගාරයේදී පැවැති පත්වීම් ප්‍රදානෝත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. 2014 වසරෙන් පසු තාක්ෂණ සේවයට බඳවා ගැනීම් සිදුකර ඇත්තේ වසර 9කට පසුව බවත්, 2021 වසරෙන් පසු අත්හිටුවා තිබූ රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් යළි සක්‍රිය කරමින් පසුගිය වසරේදී පමණක් 5,000කට ආසන්න පිරිසක් අලුතින් රාජ්‍ය සේවයට බඳවාගෙන ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පවතින කාර්මික නිලධාරී හිඟය නිසා පසුගිය කාලයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ප්‍රමාද වූ බව සඳහන් කළ අමාත්‍යවරයා, මෙම නව බඳවා ගැනීම් හරහා රාජ්‍ය මෙන්ම පළාත් රාජ්‍ය සේවයද ශක්තිමත් වන බව පැවසීය. එමෙන්ම ඩිජිටල් ශ්‍රී ලංකා වැඩසටහන සහ දිළිඳුභාවය තුරන් කිරීමේ රජයේ ප්‍රධාන අරමුණු ජයග්‍රහණය කිරීමට මින් ශක්තියක් ලැබෙන බවද ඔහු සඳහන් කළේය.
මෙහිදී සභාව ඇමතූ පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා ප්‍රකාශ කළේ, අතීතයේ පැවති දේශපාලන හිතවත්කම්, ලියුම් කැබලි හෝ උස මිටිකම් බැලීමේ දූෂිත ක්‍රමවේදයන් සහමුලින්ම තුරන් කර, කිසිදු දේශපාලන භේදයකින් තොරව දක්ෂතාවට සහ සුදුසුකමට පමණක් මුල්තැන දෙමින් තරුණ පරපුරට රාජ්‍ය සේවයට ඇතුළත් වීමේ අවස්ථාව නව රජය විසින් උදාකර දී ඇති බවයි.
මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා ඇතුළු ස්වදේශ කටයුතු සහ පාර්ලිමේන්තු කටයුතු අංශවල අතිරේක ලේකම්වරුන් ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.
















