කොවිඩ්-19 වසංගතයට පෙර දිනකට ගමන් වාර 420කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා දුම්රිය සේවාව, මේ වන විට දිනකට ගමන් වාර 200කටත් අඩු මට්ටමකට කඩාවැටී ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය (RSMU) පවසයි.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර මහතා සඳහන් කරන පරිදි, වසංගතයට පෙර මගී, මිශ්‍ර, ඉන්ධන ප්‍රවාහන සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ඇතුළු සේවා 420කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක විය. වසංගතයෙන් පසු මෙම සංඛ්‍යාව 350 දක්වාත්, පසුව 250 දක්වාත් අඩුවූ අතර, මේ වන විට එය 200කටත් වඩා අඩු වී ඇත. පවතින සීමිත දුම්රිය ගමන් වාර පවා නිසි කාලසටහනකට අනුව ක්‍රියාත්මක නොවීම සහ දුම්රිය අවලංගු කිරීම් දෛනික සිදුවීමක් බවට පත්ව තිබේ.
මෙම අර්බුදයට හේතු ලෙස සංගමය පෙන්වා දෙන කරුණු කිහිපයක් පහත දැක්වේ.
දුම්රිය එන්ජින් නිසි ලෙස නඩත්තු නොකිරීම සහ නවීකරණය නොකිරීම හේතුවෙන් පවතින දුම්රිය ගමන් වාර ප්‍රමාණය සීඝ්‍රයෙන් අඩු වී ඇත. තලෙයිමන්නාරම දුම්රිය මාර්ගය උත්ශ්‍රේණිගත කිරීම් සිදුකළ ද, එන්ජින් හිඟය නිසා එම මාර්ගයේ කිසිදු දුම්රිය සේවාවක් දැනට ක්‍රියාත්මක නොවේ. මීට පෙර එම මාර්ගයේ දිනකට ගමන් වාර හතරක් ක්‍රියාත්මක විය.
උඩරට දුම්රිය මාර්ගයේ බලන සහ උඩුනුවර කඩිගමුව අතර සිදුවූ නායයෑම් හේතුවෙන් දුම්රිය සේවා ඇනහිට මාස හයකට අධික කාලයක් ගතවී ඇතත්, යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු තවමත් සැලසුම් මට්ටමේ පවතින බව සංගමය පෙන්වා දෙයි. පේරාදෙණිය දුම්රිය පාලමේ වැඩ කටයුතු ප්‍රමාද වීම සහ රඹුක්කන-කඩිගමුව අතර නායයෑම් ආශ්‍රිත ගැටලු ද සේවාවට දැඩි ලෙස බලපා ඇත.
දුම්රිය ගමන් වාර අඩු කිරීමෙන් වියදම් අඩු කර මූල්‍ය කාර්යසාධනය ඉහළ දැමිය හැකි බවට ඇතැම් නිලධාරීන් තුළ පවතින වැරදි මතය මගීන්ගේ අපහසුතාවයට මූලික හේතුවක් වී තිබේ.
පවතින හැකියාවන් තිබියදීත් මෙම තත්ත්වය විසඳීමට රජය සහ දුම්රිය දෙපාර්තමේන්තුව අපොහොසත් වී ඇති බව සංගමය චෝදනා කරයි. එමනිසා, වසංගතයට පෙර පැවති මට්ටමට දුම්රිය සේවාව යථා තත්ත්වයට පත් කරන ලෙසත්, මහජන ඉල්ලුමට සරිලන පරිදි සේවාවන් පුළුල් කරන ලෙසත් සංගමය අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
















