ඉන්දීය රජයේ ප්‍රදාන ආධාර වැඩසටහන යටතේ, ඇමරිකානු ඩොලර් මිලියන 5කට අධික වටිනාකමකින් යුත් යුධ උපකරණ තොගයක් සහ හදිසි ප්‍රතිකාර පද්ධතියක් (Trauma care system) ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත නිල වශයෙන් පරිත්‍යාග කර තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේදී මෙම උපකරණ භාරදීම සිදු විය. ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් අදාළ පරිත්‍යාගය ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත මහතා වෙත භාර දුන් අතර, එම අවස්ථාවට යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා ද සහභාගි විය.
මෙම උපකරණ තොගය පසුගිය ජූනි 10 සිට 13 දක්වා කොළඹ වරායට සේන්දු වූ ඉන්දීය නාවික හමුදාවේ ‘INS Sharda’ නෞකාව මගින් දිවයිනට රැගෙන එනු ලැබීය.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ ඉන්දීය මහ කොමසාරිස්වරයා සඳහන් කළේ, ඉන්දීය සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් අතර පවතින ශක්තිමත් සහ දිගුකාලීන සබඳතාව මෙම පරිත්‍යාගයෙන් මැනවින් පැහැදිලි වන බවයි. මෑත වසරවලදී දෙරට අතර ආරක්ෂක සහයෝගීතාවය, යුධ හැකියාවන් ඉහළ නැංවීම, යටිතල පහසුකම් සංවර්ධනය, පුහුණු සහයෝගය සහ උපකරණ සැපයීම වැනි ක්ෂේත්‍ර ඔස්සේ පුළුල් වී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය. එමෙන්ම ‘දිට්වා’ සුළි කුණාටුව පැවති සමයේදී ‘සගර් බන්ධු’ (Operation Sagar Bandhu) මෙහෙයුම හරහා ඉන්දියාව දැක්වූ සහයෝගය සහ 2025 අප්‍රේල් මාසයේදී අත්සන් කළ ආරක්ෂක සහයෝගීතා අවබෝධතා ගිවිසුමේ වැදගත්කම ද ඔහු සිහිපත් කළේය.
ආරක්ෂක ලේකම්වරයා සිය කෘතඥතාව පළ කරමින් සඳහන් කළේ, ස්වාභාවික ආපදා සහ ආර්ථික අභියෝග මධ්‍යයේ ඉන්දියාව නිරතුරුවම ශ්‍රී ලංකාවට අත්වැලක් වන විශ්වාසවන්ත සහකරුවෙකු බවයි. මෙම අවස්ථාව සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.
















