පසුගිය ජූනි 03 වන දින දෙමටගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් විශාල ගිනි අවි තොගයක්, පතරොම් සහ මත්ද්‍රව්‍ය සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ සැකකාරිය බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සිද්ධියට සම්බන්ධව ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව පළා ගොස් සැඟව සිටි මෙම සැකකරු සහ සැකකාරිය, ජූනි 16 වන දින අලුයම කතරගම ලැගුම්හලක සැඟව සිටියදී පොලිස් නිලධාරීන් විසින් කොටු කරගනු ලැබීය. මොවුන් දෙදෙනාම වල්ලේපිටිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි වියේ පසුවන්නන් වේ.
මීට පෙර ජූනි 03 වන දින බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් දෙමටගොඩ ප්‍රදේශයේ නිවසක් වටලා සිදුකළ වැටලීමකදී මෙරට නිෂ්පාදිත ටී-56 ගිනි අවි 19ක්, ටී-56 පතරොම් 24ක්, මත්පෙති 100,400ක් සහ හෙරොයින් ග්‍රෑම් 15 මිලිග්‍රෑම් 200ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.
අපරාධමය කටයුතු සඳහා සැකකරුවන් භාවිතා කළ ත්‍රිරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.
















