රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන මහත්වරුන් වත්මන් තනතුරුවලට පත් කිරීම සම්බන්ධයෙන් අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් හෝ කතෝලික සභාව කිසිදු ඉල්ලීමක් කර නොමැති බව කොළඹ අගරදගුරු පදවිය අද (17) අවධාරණය කළේය. අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයක් මුල් කරගනිමින් මතුවූ ආන්දෝලනාත්මක තත්ත්වය හමුවේ, අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණි පියතුමා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මේ බව පැහැදිලි කළේය. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව පවතින නීතිමය කරුණු සහ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් ද මෙහිදී පියතුමාණෝ කරුණු දැක්වූහ.
පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ට ඇප ලබාදීම සහ දේපොළ නිදහස් කිරීම සම්පූර්ණයෙන්ම අධිකරණ ක්‍රියාවලියට යටත්ව සිදු වූවක් මිස සභාවේ මැදිහත්වීමක් නොවන බව සිරිල් ගාමිණි පියතුමා වැඩිදුරටත් අවධාරණය කළේය. විශේෂයෙන්ම ඊබ්‍රහීම් නානාගේ දේපොළ නිදහස් කිරීම සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම් වැනි කරුණු සම්බන්ධයෙන් අධිකරණය විසින් ගනු ලබන තීරණවලට ගරු කරන බවත්, මෙවැනි කරුණු විකෘති කරමින් මඩ ප්‍රචාර සිදු කරන්නේ පාස්කු ප්‍රහාරයේ සැබෑ අපරාධකරුවන් හෙළිදරව් කරගැනීම සඳහා කෙරෙන විමර්ශන කඩාකප්පල් කිරීමේ දුෂ්ට අරමුණින් බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
මෙම අසත්‍ය ප්‍රචාර සහ පදනම් විරහිත මඩ ගැසීම් හමුවේ නොරැවටෙන ලෙස බුද්ධිමත් ජනතාවගෙන් ඉල්ලා සිටින කතෝලික සභාව, සිදුවෙමින් පවතින විමර්ශනවලට බාධා නොවන පරිදි යුක්තිය ඉටු කර ගැනීම වෙනුවෙන් අඛණ්ඩව කැපවන බව ද ප්‍රතිඥා දෙයි. පාස්කු ප්‍රහාරයේ විමර්ශන ක්‍රියාවලිය විනිවිදභාවයකින් යුතුව අවසන් කිරීම ජාතික අවශ්‍යතාවක් බව අවධාරණය කරන සභාව, අදාළ නිලධාරීන්ගේ පත්වීම් දේශපාලනික සහ පරිපාලනමය තීරණ බවත්, ඒ සම්බන්ධයෙන් සභාව වෙත එල්ලවන චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් කියා සිටී.
















