හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර තිබූ නඩුව අද (17) කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා හමුවේ ආරම්භ විය.
නඩු විභාගය ආරම්භයේදී විනිසුරුවරයා විසින් තමන්ට එරෙහිව ඇති චෝදනාවලට වැරදිකරුද නැතහොත් නිර්දෝෂීද යන්න විමසා සිටි අවස්ථාවේදී, විත්ති කූඩුවේ සිටි හිටපු අමාත්‍යවරයා තමන් සියලු චෝදනාවලින් නිර්දෝෂී බව ප්‍රකාශ කර සිටියේය.
2016 වසරේදී ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු ලෙස කටයුතු කරමින් සිටියදී, එම සමාගමේ ගබඩා පරිශ්‍රයේ කාපට් ඇතිරීමේ කොන්ත්‍රාත්තුවක් පෞද්ගලික සමාගමකට වාසියක් සැලසෙන පරිදි ලබා දෙමින් රජයට රුපියල් 8,859,708/-ක දැවැන්ත පාඩුවක් සිදු කළ බවට අල්ලස් කොමිසම විසින් මොහුට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.
අද දින මෙම නඩුවේ විභාග කටයුතු ආරම්භ වූ අතර, ඉදිරි දිනවලදී නඩු විභාගය තවදුරටත් පැවැත්වීමට නියමිතය.
















