පොලිස් සේවාවන් ජනතාවට වඩාත් සමීප කිරීමේ අරමුණින්, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා පොලිසිය විසින් නවතම ජංගම දුරකථන යෙදුමක් හඳුන්වා දීමට කටයුතු යොදා ඇත.
අයි.ඕ.එස් සහ ඇන්ඩ්‍රොයිඩ් යන මෙහෙයුම් පද්ධති දෙකෙහිම ක්‍රියාත්මක වන පරිදි මෙම යෙදුම සැකසෙන අතර, ඒ සමඟම නවීකරණය කරන ලද නිල පොලිස් වෙබ් අඩවියක් ද එළිදැක්වීමට නියමිතය. මෙම යෙදුම මගින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කරන නවතම පුවත්, ඡායාරූප සහ වීඩියෝ දර්ශන ජංගම දුරකථනයටම ලබා ගැනීමට මෙන්ම හදිසි අවස්ථාවන්හිදී ‘පුෂ් නොටිෆිකේෂන්’ මගින් වැදගත් තොරතුරු ක්ෂණිකව ලබා ගැනීමට ද හැකියාව ලැබේ. මීට අමතරව පොලිස් සහතික ලබා ගැනීම සඳහා ඉල්ලුම් කිරීමේ පහසුකම, හදිසි ඇමතුම් අංක වෙත සම්බන්ධ වීමට සහ තීරණාත්මක අවස්ථාවන්හිදී ස්ථාන පදනම් කරගත් ඇඟවීම් ලබා ගැනීමේ පහසුකම් ද මෙමගින් සලසා ඇත.
මෙම තාක්ෂණික මෘදුකාංගය ‘වැම්පියර් ඩිසයින් සොෆ්ට්වෙයාර් ඩිවලොප්මන්ට්’ ආයතනය විසින් සංවර්ධනය කරනු ලබන අතර, එහි පූර්ණ තාක්ෂණික අධීක්ෂණය සහ නඩත්තුව පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසය විසින් සිදු කරනු ලබයි.
පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේදී පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී මෙම ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කෙරිණි. ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ වේගවත් පොලිස් සේවාවක් ලබා දීම උදෙසා නවීන ඩිජිටල් තාක්ෂණය භාවිත කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි.
















