බේරාගැනීම්, පුනරුත්ථාපන සහ වස්තුභංගත්ව (ආයතනික සහ පුද්ගලික) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (17) සිය සහතිකය සටහන් කරනු ලැබීය. පසුගිය මාර්තු මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මැයි මස විවාදයට ගෙන සම්මත වූ මෙම පනත, 2026 අංක 12 දරන පනත ලෙස ගැසට් කිරීමත් සමඟ මෙරට මූල්‍ය හා නෛතික ක්ෂේත්රයේ නව පරිච්ඡේදයක් ආරම්භ කෙරේ. බංකොලොත්භාවය පිළිබඳ පවතින පැරණි ආඥා පනත අවලංගු කරමින් හඳුන්වා දී ඇති මෙම නව නීති පද්ධතිය, ආර්ථික අර්බුද හමුවේ පීඩාවට පත් ව්‍යාපාර සහ පුද්ගලයන් ඉන් මුදා ගැනීමේ තීරණාත්මක පියවරක් ලෙස සැලකේ.
මෙම නව පනත හරහා 2007 අංක 07 දරන සමාගම් පනත සහ 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත ඇතුළු ප්‍රධාන නීති රැසක් සංශෝධනය වීම ආර්ථික ක්ෂේත්රයේ සංකීර්ණ ගැටලු විසඳීම සඳහා මග පාදයි. විශේෂයෙන්ම, ණය බරින් පීඩිත වුවද මූලික වශයෙන් ශක්‍යතාව සහිත සමාගම් පුනරුත්ථාපනය කිරීමට අවශ්‍ය ව්‍යුහගත යාන්ත්‍රණයක් මෙයින් සැපයේ. එමෙන්ම, තනි ණය ගැතියන්ගේ අත්‍යවශ්‍ය දේපළ ආරක්ෂා කරමින් ඔවුන්ට නැවුම් ආරම්භයක් ලබා දීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සකස් කර තිබීම, සමාජ ආරක්ෂණය අතින්ද වැදගත් සන්ධිස්ථානයකි.
ණය වෙළඳපොළේ පුරෝකථනය කිරීමේ හැකියාව සහ ආයතනික පරිපාලනය ශක්තිමත් කිරීම මගින්, දේශසීමා හරහා සිදුවන බංකොලොත්භාවයන් කළමනාකරණය කිරීමටද මෙම පනත මගින් හැකියාව ලැබේ. රටේ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීමේ උපායමාර්ගික මෙවලමක් ලෙස මෙම නීති රාමුව ක්‍රියාත්මක වනු ඇති අතර, එය ව්‍යාපාරික ක්ෂේත්රය තුළ පවතින අවිනිශ්චිතතාවයන් අවම කිරීමට ඉවහල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙවැනි නෛතික ප්‍රතිසංස්කරණ මගින් ආයෝජන විශ්වාසය ගොඩනැංවීමට සහ මූල්‍ය විනය පවත්වා ගැනීමට රජය අපේක්ෂා කරන අතර, ඉදිරියේදී මෙය ක්‍රියාත්මක කිරීමේදී පවතින කාර්යක්ෂමතාව මත මෙරට ආර්ථිකයේ ඉදිරි ගමන් මග තීරණය වනු ඇත.
















