යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවට බැඳීම සම්බන්ධයෙන් සිදුකර ඇති අත්අඩංගුවට ගැනීම හුදෙක් දේශපාලන පළිගැනීමක් බව දේශපාලන විචාරක මහින්ද පතිරණ මහතා ප්‍රකාශ කරයි. රට දැඩි යුදමය අර්බුදයකට මුහුණ දී සිටි සමයක, සන්නද්ධ හමුදාවලට සාමාජිකයන් බඳවා ගැනීම අතිශය දුෂ්කරව පැවති පසුබිමක සේනාධිනායකයාගේ පුත්‍රයෙකු ලෙස හමුදාවට එක්වීම මගින් බලාපොරොත්තු වූයේ රටේ තරුණ පරපුර හමුදා සේවයට දිරිමත් කිරීම සහ ඊට අවශ්‍ය පූර්වාදර්ශය සැපයීම බව ඔහු අවධාරණය කරයි.ලෝක ඉතිහාසය සහ වර්තමාන ගෝලීය දේශපාලන ප්‍රවණතා දෙස බැලීමේදී, රාජ්‍ය නායකයන්ගේ දරුවන් යුද සමයන්හිදී සන්නද්ධ හමුදාවලට එක්වීම සාමාන්‍ය සම්ප්‍රදායක් බවත්, බ්‍රිතාන්‍යයේ හැරී කුමරු ඇෆ්ගනිස්තාන යුද බිමේ සේවයේ නිරත වීම ඊට කදිම නිදසුනක් බවත් පතිරණ මහතා පෙන්වා දෙයි. ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයෙන් මුදවා ගැනීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන් එදා ගත් ක්‍රියාමාර්ග වත්මන් පාලන තන්ත්‍රය විසින් වෛරී දේශපාලන අරමුණු උදෙසා අවභාවිත කිරීම පිළිකුල් සහගත බව හෙතෙම චෝදනා කරයි.එබැවින් මෙම අත්අඩංගුවට ගැනීම නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීමක් නොව, රට වෙනුවෙන් කැපවූවන්ට එරෙහිව දියත් කරන ලද දේශපාලනික අභිප්‍රායන් මත පදනම් වූ පළිගැනීමක් බව මහින්ද පතිරණ මහතා වැඩිදුරටත් අවධාරණය කරයි. මෙවැනි ක්‍රියාමාර්ග මගින් රටේ සැබෑ නීතිමය ස්වාධීනත්වය පිළිබඳව බරපතල සැකයක් මතු වන බවත්, අනාගතයේදී සිදුවන නීතිමය ක්‍රියාදාමයන් ඔස්සේ මෙහි පවතින දේශපාලන කුමන්ත්‍රණකාරී ස්වභාවය ජනතාවට පැහැදිලි වනු ඇති බවත් ඔහු අනතුරු අඟවයි.
















