මෙරට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයන්හි අනාගත සංවර්ධන කටයුතු උදෙසා කොරියානු ජනරජයේ උපරිම මූල්‍ය හා තාක්ෂණික සහයෝගය මෙන්ම විශේෂ ප්‍රදානයන් (Grants) අඛණ්ඩව ලබාදීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිනි මියෝන් ලී (Miyon Lee) මහත්මිය ප්‍රකාශ කර තිබේ. ඊයේ (16 වැනිදා) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමුවූ අවස්ථාවේදී ඇය මේ බව සනාථ කළාය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, කොරියානු රජය KOFIH, KOICA සහ EDCF වැනි ජාත්‍යන්තර සහයෝගීතා සංවිධාන හරහා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගතිය වෙනුවෙන් දක්වන දායකත්වය අගය කළේය. කොරියානු රජය සමඟ සිදුකරන ව්‍යාපෘති ඉතා කාර්යක්ෂම සහ පහසු බැවින් ඉදිරියේදී යෝජිත ව්‍යාපෘති ද වඩාත් ඵලදායී ලෙස නිම කිරීමට හැකිවනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය. එසේම දශක ගණනාවක සිට සෞඛ්‍ය, අධ්‍යාපන, ඩිජිටල්කරණ සහ මෙරට ප්‍රධාන ගැටලුවක්ව පවතින ඝන අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් කොරියාව ලබාදෙන දායකත්වයට සිය කෘතඥතාව ද පළ කළේය.
සාකච්ඡාවේදී කොරියානු තානාපතිනිය පෙන්වා දුන්නේ කොරියානු ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනම (KOFIH) හරහා දැනට ක්‍රියාත්මක වන ජීව වෛද්‍ය ඉංජිනේරු සේවාව (Biomedical Engineering Services) නඟා සිටුවීමේ ව්‍යාපෘතිය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩසටහන් රැසක් ඉදිරියටත් සාර්ථකව පවත්වාගෙන යන බවයි. මීට අමතරව, මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ඩිජිටල්කරණය සහ අනාගත ප්‍රගමනය වෙනුවෙන් යෝජිත සැලසුම්වලට ද අවශ්‍ය සහයෝගය නිබඳව ලබාදෙන බව ඇය අවධාරණය කළාය.
ශ්‍රී ලංකාවේ පවතින ස්වාභාවික සෞන්දර්යය අගය කළ තානාපතිවරිය, මහනුවර ශ්‍රී දළදා මාලිගාව සහ සීගිරිය වැනි ඓතිහාසික ස්ථාන නැරඹීම සඳහා කොරියානු සංචාරකයින් තුළ පවතින්නේ ඉහළ උනන්දුවක් බව ද මෙහිදී වැඩිදුරටත් සඳහන් කළාය.
















