එළඹෙන ජුනි 19 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අධිවේගී මාර්ගවල ගමන් කරන සියලුම වාහනවල රියදුරන් මෙන්ම පසුපස අසුන් ඇතුළු සියලුම මගීන් ආරක්ෂිත ආසන පටි (Seat Belts) පැලඳීම අනිවාර්ය කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි. මාර්ග ආරක්ෂණ ජාතික වැඩපිළිවෙළ යටතේ ජනතාවට ලබාදී තිබූ මාස තුනක සහන කාලය එදිනෙන් අවසන් වන බැවින්, ජුනි 19 සිට නීතිය කඩකරන්නන්ට එරෙහිව තදින්ම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.
මේ පිළිබඳව මහජනතාව සහ රියදුරන් දැනුවත් කිරීම වෙනුවෙන් අද (17 වැනිදා) කොට්ටාව අධිවේගී මාර්ග පිවිසුම් පරිශ්‍රයේදී විශේෂ ප්‍රචාරක වැඩසටහනක් පැවැත්වුණි. එහිදී “ආදරණීයයන් වෙනුවෙන් Click එකක්” යන තේමාව යටතේ සකස් කරන ලද විශේෂ දැනුවත් කිරීමේ අත්පත්‍රිකා රියදුරන් සහ මගීන් වෙත බෙදා දීමට නිලධාරීහු කටයුතු කළහ.
වත්මන් නීතිමය ප්‍රතිපාදන අනුව සාමාන්‍ය මාර්ගවල ධාවනය වන වාහනවල රියදුරුට සහ ඉදිරිපස අසුනේ ගමන් කරන මගියාට පමණක් ආසන පටි පැලඳීම අනිවාර්ය වේ. එහෙත් නව රෙගුලාසි යටතේ අධිවේගී මාර්ගවල ධාවනය වන ඕනෑම වාහනයක ගමන් ගන්නා සියලුම මගීන් මෙම නීතියට අනිවාර්යයෙන්ම යටත් විය යුතුය.
මෙම මාර්ග ආරක්ෂණ නීතිය උල්ලංඝනය කරන පුද්ගලයන්ට එරෙහිව රුපියල් 1,000ක් දක්වා දඩ මුදලක් පැනවිය හැකි බව අමාත්‍යාංශය පෙන්වා දෙයි. එලෙසම ඉදිරියේදී ආරක්ෂිත ආසන පටි නොපැලඳීමේ වරද වෙනුවෙන් රියදුරු සහ අදාළ මගියා මෙන්ම වාහනයේ හිමිකරු ද එකසේ වගකීමට යටත් කරමින් නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කළේය.
















