ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහත වැටුණ ද දේශීයව ඉන්ධන මිල වහාම අඩු නොකිරීමට හේතු වී ඇති තාක්ෂණික සහ මූල්‍යමය පසුබිම මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැහැදිලි කර තිබේ. විපක්ෂයෙන් එල්ල වන චෝදනාවලට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, දේශීය මිල තීරණය කිරීමේදී පවතින ප්‍රායෝගික ක්‍රමවේදය හේතුවෙන් ජනතාවට මෙම සහනය ලැබීමට යම් කාලයක් ගතවන බවයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වත්මන් මිල තීරණය වන්නේ මීට පෙර මාසවලදී ඇණවුම් කර මෙරටට ගෙන්වන ලද ඉන්ධන තොගවල පිරිවැය මත පදනම්ව බවයි. ඒ අනුව, ඉදිරි දිනවලදී පාරිභෝගිකයන් වෙත නිකුත් කිරීමට සිදුවන්නේ මැදපෙරදිග අර්බුදය පැවැති සමයේදී මෙරට රජය විසින් වැඩි මිලට මිලදී ගන්නා ලද ඉන්ධන තොග වේ. ලෝක වෙළෙඳපොළේ මේ වන විට පවතින අඩු මිල ගණන් යටතේ ඇණවුම් කරන නව ඉන්ධන තොග මෙරටට ලැබීමට යම් කාලයක් ගතවන බැවින්, එහි වාසිය ජනතාවට ළඟා වීමට යම් කාල පමාවක් සිදුවන බව ඒ මහතා සඳහන් කළේය.
කෙසේ වෙතත්, ඉදිරි කාලසීමාව තුළදී ලෝක වෙළෙඳපොළේ මිල අඩු වීමේ වාසිය අනිවාර්යයෙන්ම දේශීය මිල සංශෝධන හරහා ජනතාව වෙත ලබාදීමට රජය බලාපොරොත්තු වන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
















