ඇළහැර ප්‍රදේශයේ පවතින උග්‍ර අලි-මිනිස් ගැටුමට වහාම ස්ථිර විසඳුම් ලබාදෙන ලෙස බල කරමින් ඇළහැර ප්‍රදේශයේ ගොවි සංවිධාන 9ක් නියෝජනය කරන ගොවීන් 300කට ආසන්න පිරිසක් අද (17 වැනිදා) දහවල් ගිරිතලේ – බකමූණ ප්‍රධාන මාර්ගය අත්තනකඩවල ප්‍රදේශයෙන් අවහිර කරමින් දැවැන්ත විරෝධතාවයක නිරත වූහ. ‘ඇළහැර ජනතා එකමුතුව’ විසින් සංවිධානය කරන ලද මෙම විරෝධතාවයට අත්තනකඩවල, පොකුණුගල, ඉකිරිවැව, සෑගල, ඇලහැර, කෝට්ටපිටිය, කෝඳුරුවාව, දිග්ගල්පිටිය සහ මඩුදමන යන ගම්මානවල ගොවි ජනතාව එක්ව සිටියහ.
විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ ඇළහැර හා අවට ප්‍රදේශවල වන අලි කඩා වැදීම හේතුවෙන් මීට පෙර මිනිස් ජීවිත රැසක් අහිමි වී ඇති අතර, වගාවන් ඇතුළු දේපල මෙන්ම නිවාස රැසකට ද දැඩි හානි සිදුව ඇති බවයි. නිසි බලධාරීන් මැදිහත් වී තම ජීවිත හා දේපල ආරක්ෂා කර දෙන තෙක් තමන් විරෝධතාවය අත්නොහරින බව ගොවීහු අවධාරණය කළහ.
මෙම විරෝධතාව හේතුවෙන් ගිරිතලේ – බකමූණ ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට පැය තුනකට ආසන්න කාලයක් දැඩි බාධා එල්ල විය. පසුව දියබෙදුම පොලිස් ස්ථානාධිපති කේ.එන්.සී. මධුසංක මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ, ගොවීන්ගේ ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා අදාළ වගකිවයුතු නිලධාරීන් කැඳවා දෙන බවට පොරොන්දු වීමත් සමඟ, මාර්ගයේ එක් මංතීරුවක් පමණක් විවෘත කරමින් විරෝධතාවය පවත්වාගෙන යාමට ගොවීහු එකඟ වූහ.
















