අමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ ලෝන්ග් අයිලන්ඩ් වෙරළ තීරයේදී කාන්තාවන් අට දෙනෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරු වූ ‘රෙක්ස් හියුයර්මන්’ නමැති දාම ඝාතකයාට ලිහිල් නොවන ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කිරීමට අමෙරිකානු අධිකරණය ඓතිහාසික තීන්දුවක් ලබා දී තිබේ. ලොව පුරා දැඩි ආන්දෝලනයකට ලක්ව තිබූ මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා විත්තිකරු ඉතා පිළිකුල් සහගත, නින්දිත මිනිසෙකු ලෙස හඳුන්වමින් වහාම බන්ධනාගාරය වෙත රැගෙන යන ලෙස නියෝග කළේය.
62 හැවිරිදි ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන රෙක්ස් හියුයර්මන් වෙත පළමු පෙළ මිනීමැරුම් චෝදනා 3ක් සඳහා එකිනෙකට පසුව ක්‍රියාත්මක වන පරිදි ජීවිතාන්තය දක්වා සිරදඬුවම් 3ක් සහ දෙවන පෙළ මිනීමැරුම් චෝදනා 4ක් සඳහා තවත් වසර 25ක සිට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් 4ක් නියම විය. ඒ අනුව ඔහුට සිය ජීවිතයේ ඉතිරි කාලය සම්පූර්ණයෙන්ම බන්ධනාගාරය තුළම ගත කිරීමට සිදුවනු ඇත.
මෙම ඝාතන 1993 සහ 2010 අතර කාලය තුළ සිදු වී තිබුණ ද, වින්දිතයන් ලිංගික ශ්‍රමිකයන් වීම නිසා පොලීසිය මුල් කාලයේදී නිසි විමර්ශන සිදු නොකළ බවට චෝදනා එල්ල විය. කෙසේ වෙතත්, 2022 වසරේදී පිහිටුවූ විශේෂ කාර්ය සාධක බලකායක් මඟින් පැරණි ට්‍රක් රථයක තොරතුරු ඔස්සේ විමර්ශන පවත්වා සති 6ක් තුළ සැකකරු හඳුනාගෙන තිබේ. පසුව 2023 වසරේදී, ඔහු අනුභව කර ඉවත දමා තිබූ පීසා පෙට්ටියක තිබූ DNA සාම්පල ඔස්සේ ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් විය. අවසානයේදී තමා කාන්තාවන් අට දෙනෙකු ගෙල සිරකර ඝාතනය කළ බව පිළිගත් හියුයර්මන්, අධිකරණය හමුවේ කෙටි ප්‍රකාශයක් කරමින් තමා කළ වැරදි පිළිබඳව කණගාටුව පළ කළේය.
















