2019 අප්‍රේල් 27 දින සයින්දමරුදු නිවසකදී සිදු වූ බෝම්බ ප්‍රහාරය සහ ඉන්පසුව ක්‍රියාත්මක වූ හමුදා මෙහෙයුම සම්බන්ධයෙන්, යූටියුබ් නාලිකාවක් ඔස්සේ බරපතළ හෙළිදරව්වක් සිදුව තිබේ. තරිඳු ජයවර්ධන සහ කල්මුනේ පොලිසියේ හිටපු මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අතර පැවති සංවාදයකදී මෙම සිදුවීම සම්බන්ධයෙන් කරුණු කිහිපයක් ඉදිරිපත් කර ඇත.
ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති ප්‍රධාන චෝදනා අතර, බෝම්බ ප්‍රහාරයෙන් සාරා ජස්මින් මිය නොගිය බවත්, ඇය එම ස්ථානයෙන් පලා ගිය බවත් සඳහන් වේ. යුධ හමුදාව විසින් පොලිසියට ස්වාධීනව පරීක්ෂණ සිදුකිරීමට බාධා කළ බවත්, එම ප්‍රදේශයේ පැවති මුස්ලිම් නිවාස කිහිපයක් හමුදාව විසින් කොල්ලකෑමට ලක් කළ බවත් ඔවුන් චෝදනා කරයි. බුද්ධි අංශ සමඟ සබඳතා පැවැත්වූ පුද්ගලයා බෝම්බ පිපිරීමෙන් නොව, ළඟ සිට වෙඩි තැබීමකින් මිය ගිය බවත්, බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය අනෙකුත් පිරිස එතැනට ගෙන්වා මරා දැමූ පිරිසක් විය හැකි බවටත් මෙම වීඩියෝ වේදී අදාළ පොලිස් නිලධාරියා සැක පළ කරයි.
මෙම හමුදා මෙහෙයුම එවකට නැගෙනහිර යුධ හමුදා ආඥාපතිවරයාව සිටි වත්මන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාගේ මූලිකත්වයෙන් සිදු වූවකි. මෙම චෝදනා පදනම් කරගනිමින්, වත්මන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළ යුතු බවට සිවිල් සමාජයේ කිහිප දෙනෙකු අදහස් ප්‍රකාශ කර තිබුණි.
















