පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ කණ්ඩායම අතර මොහොමඩ් ඊබ්‍රහම්ගේ පුතුන් දෙදෙනෙකු සිටි බවත්, මොහොමඩ් ඊබ්‍රහම් එම ප්‍රහාරය සඳහා මුදල්වලින් උදව් උපකාර කළ බවත් ප්‍රහාරය එල්ල වූ මුල් කාලයේ සිටම ප්‍රසිද්ධව පවතින කරුණක් බව කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා පවසයි. විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් උන්වහන්සේ අවධාරණය කළේ, කතෝලික සභාවට කිසිදු පුද්ගලයෙකු ආරක්ෂා කිරීමට හෝ නීතියෙන් බේරා ගැනීමට අවශ්‍යතාවයක් නොමැති බවයි.
මොහොමඩ් ඊබ්‍රහම් සම්බන්ධයෙන් පවතින චෝදනා පිළිබඳව අධිකරණය විසින් විභාග කොට ඔහු වරදකරුවෙකුද නැද්ද යන්න තීන්දු කරනු ඇතැයි උන්වහන්සේ සඳහන් කළහ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සිරිල් ගාමිණී පියතුමා පෙන්වා දුන්නේ, ගෝඨාභය රාජපක්ෂගේ රජය පැවති 2022 වසරේදී ඊබ්‍රහම්ට ඇප හිමිවූයේ දේශපාලන මැදිහත් වීමකින් නොව අධිකරණය මඟින් බවයි. ඇප ලැබීම යනු ඔහු නිදොස් කොට නිදහස් කිරීමක් නොවන බවත්, ඒ පිළිබඳ නඩු විභාගය තවමත් අධිකරණයේ විභාග වෙමින් පවතින බවත් උන්වහන්සේ සිහිපත් කර දුන්හ.
මෑතකදී රජය මඟින් නිදහස් කරන ලද බව කියන දේපළ සම්බන්ධයෙන්ද පැහැදිලි කිරීමක් කළ පියතුමා, එම දේපළ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ පියා වන ඊබ්‍රහම්ගේ නොව, ඔහුගේ සහෝදරයෙකුට අයත් දේපළක් බව ප්‍රකාශ කළේය.
















