තේ කොළ පෙරන කඩදාසි (Tea bag filter paper) මෙරටට ගෙන්වන බව පවසමින් ව්‍යාජ ලේඛන සකස් කර, නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද කෝටි ගණනක් වටිනා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ තහනම් භාණ්ඩ තොගයක් වටලීමට ශ්‍රී ලංකා රේගු නිලධාරීන් සමත්ව තිබේ. අදාළ සැකකටයුතු බහලුම (Container) විවෘත කර පරීක්ෂා කිරීමේදී එහි ප්‍රකාශ කර තිබූ තේ පෙරන කඩදාසි කිසිවක් නොතිබූ බවත්, ඒ වෙනුවට විශාල වෙළෙඳපොළ වටිනාකමක් සහිත සඟවන ලද භාණ්ඩ තොගයක් සොයාගත් බවත් රේගුව සඳහන් කළේය.
මෙලෙස අත්අඩංගුවට ගත් භාණ්ඩ තොගය අතර නීතිවිරෝධී දුම්වැටි අඩංගු විශාල කාටූන් 100ක්, මෙරටට ආනයනය කිරීම සීමා කර ඇති වියළි කහ මෙට්‍රික් ටොන් 11කට ආසන්න ප්‍රමාණයක්, විද්‍යුත් සිගරට් (E-cigarettes) සහ දුම්කොළ මිශ්‍රණ අඩංගු භාණ්ඩ තිබී ඇත. ඊට අමතරව කජු කිලෝග්‍රෑම් 1600ක්, වියළි ඉඟුරු කිලෝග්‍රෑම් 500ක් මෙන්ම විදේශීය නිෂ්පාදිත සුවඳ විලවුන්, චොකලට් සහ බිස්කට් වර්ග රැසක් ද ඒ අතර වන බව රේගු වාර්තා පෙන්වා දෙයි.
මෙම මහා පරිමාණ ජාවාරමට සෘජුවම සම්බන්ධ සැකකරුවන් සහ අදාළ බහලුම මෙරටට ගෙන්වූ ආනයනකරුවන් කවුරුන්ද යන්න අනාවරණය කරගැනීම සඳහා රේගු නිලධාරීන් විසින් මේ වන විට පුළුල් මට්ටමේ වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
















