ජාතිවාදය අවුස්සමින් මැතිවරණ ජයග්‍රහණය කළ පැරණි දේශපාලන යුගය දැන් අවසන් බවත්, මෙරට තාරුණ්‍යය නැවත එවැනි බෙදීම් සහිත දේශපාලනයකට ඇද දැමීමට කිසිසේත්ම ඉඩ ලබා නොදෙන බවත් තරුණ කටයුතු නියෝජ්‍ය ඇමැති දිනිඳු සමන් හෙන්නායක ප්‍රකාශ කරයි. ශ්‍රී ලාංකේය තාරුණ්‍යය නැවත බෙදා වෙන්කර පටු වාසි තකා දේශපාලනය කිරීමට ඉඩ නොදෙන බවට වූ පණිවිඩය, ‘Youth Link Sri Lanka’ දේශීය තරුණ හුවමාරු වැඩසටහන මඟින් රටටම ලබාදෙන බව නියෝජ්‍ය ඇමැතිවරයා අවධාරණය කළේය.
‘Youth Link Sri Lanka’ ජාතික වැඩසටහනේ දෙවැනි අදියර පසුගියදා ගම්පහ, මහර, වෑබඩ පුරාණ ගල්ලෙන් විහාරස්ථානයේදී ආරම්භ විය. මෙහි පළමු අදියර පසුගිය මාර්තු 5 වැනිදා මඩකලපුවේදී ආරම්භ වූ අතර, ඒ අනුව උතුරු සහ නැඟෙනහිර පළාත් කේන්ද්‍ර කරගනිමින් සාර්ථක වැඩසටහන් 20ක් ක්‍රියාත්මක කෙරිණි. මෙවර ගම්පහ දිස්ත්‍රික්කය සත්කාරක දිස්ත්‍රික්කය ලෙස කටයුතු කරන අතර, මුලතිව් සහ මඩකලපුව දිස්ත්‍රික්කවලින් පැමිණි තරුණ තරුණියන් රැසක් සංක්‍රමණික නියෝජිතයන් ලෙස මීට එක්ව සිටිති. මෙය හුදකලා ව්‍යාපෘතියක් නොවන අතර, මේ ඔස්සේ පොදු ශ්‍රී ලාංකේය ජාතික අනන්‍යතාව ගොඩනැඟීමේ ශක්තිමත් ප්‍රවේශය ලබාගන්නා බව ද නියෝජ්‍ය ඇමැතිවරයා පැවසීය.
තරුණ කටයුතු නියෝජ්‍ය ඇමැති දිනිඳු සමන් හෙන්නායකගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවට පාර්ලිමේන්තු නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලසිත් භාෂණ සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ සුපුන් විජේරත්න ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගි වූහ. මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර සඳහන් කළේ, මෙය විවිධ සංස්කෘතීන් සහිත තරුණ හදවත් එකිනෙකා යා කරන සහ රටක් එක්සත් කරන ජාතික අරමුණක් සහිත වැඩසටහනක් බවයි. එමෙන්ම, ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැඟීම වෙනුවෙන් කෙරෙන මෙම මැදිහත්වීම අනාගතය වෙනුවෙන් කරනු ලබන වටිනා ආයෝජනයක් බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ සුපුන් විජේරත්න ද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
















