පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි විකල්ප ක්‍රමවේද සම්බන්ධ නිරීක්ෂණ ඇතුළත් විශේෂ වාර්තාවක්, ඒ පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වෙත යොමු කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ පළාත් සභා මැතිවරණය ක්‍රමවේද 4ක් යටතේ පැවැත්විය හැකි බවට මේ වන විට කාරක සභාව හමුවේ කරුණු ප්‍රකාශ වී ඇති බවයි.
ඒ අනුව, මීට පෙර පැවැති පැරණි පළාත් සභා මැතිවරණ ක්‍රමය, එම පැරණි ක්‍රමයටම කාන්තා හා තරුණ නියෝජනය ද ඇතුළත් කර මැතිවරණය පැවැත්වීම, සීමා නිර්ණය ගැටලු හේතුවෙන් පාර්ලිමේන්තුවේ අතරමඟ නවතා දමා ඇති මනාප සහ කොට්ඨාස මිශ්‍ර මැතිවරණ ක්‍රමය මෙන්ම, නව සීමා නිර්ණය වාර්තා පදනම් කරගනිමින් සකස් කරන ක්‍රමවේදයක් යටතේ මැතිවරණය පැවැත්වීම එම ක්‍රම 4 වේ. මෙම මැතිවරණ ක්‍රම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සතු වෘත්තීය නිරීක්ෂණ, පළාත් සභා ඡන්ද විමසීම කුමන ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා නිර්දේශ ඉදිරිපත් කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වෙත මෙලෙස ඉදිරිපත් කර තිබේ.
මීට අමතරව, යෝජිත ක්‍රමවේදයන් යටතේ මැතිවරණයක් ප්‍රකාශයට පත් කළහොත් ඒ සඳහා නාමයෝජනා කැඳවීම ඇතුළු සංවිධාන කටයුතුවලට වැයවන නිශ්චිත කාල රාමුව පිළිබඳ විස්තර ද මෙම වාර්තාවට අන්තර්ගත කර ඇත. මෙම වාර්තාව පදනම් කරගනිමින් කලාපීය පාලන ආයතන සක්‍රීය කිරීමට අදාළ ඉදිරි ව්‍යවස්ථාදායක පියවර කාරක සභාව විසින් ගැනීමට නියමිතය.
















