‘සඟරජ බුහුමන්’ ජාතික පිරිවෙන් දින රාජ්‍ය මහෝත්සවය හෙට (19) මහනුවර, කුණ්ඩසාලේ පල්ලේකැලේ පිහිටි සිබා (SIBA) විශ්වවිද්‍යාලයේදී පැවැත්වේ. ත්‍රෛනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලා සහ අනුනායක හිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මෙම සමාරම්භක රාජ්‍ය උත්සවය පැවැත්වීමට නියමිතය. මෙම අවස්ථාව සඳහා අගමැති ආචාර්ය හරිනි අමරසූරිය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි ඇතුළු මැති ඇමැතිවරුන් සහ සම්භාවනීය අමුත්තන් රැසක් එක්වීමට නියමිතව ඇත.
බෝධිසත්ව ගුණෝපේත පිණ්ඩපාතික අසණසරණ රාජගුරු වැලිවිට ශ්‍රී සරණංකර සඟරාජ මාහිමිපාණන් වහන්සේගේ ජූනි 19 වැනිදාට යෙදෙන ජන්ම දිනය මුල් කරගනිමින් මෙම ‘සඟරජ බුහුමන්’ ජාතික පිරිවෙන් දින රාජ්‍ය මහෝත්සවය සංවිධානය කර ඇති බව පිරිවෙන් අධ්‍යක්ෂ මාදෝවිට වජිරබුද්ධි හිමිපාණෝ පවසති. මීට සමගාමීව ගිහි පැවිදි පිරිවෙන් සිසුන්ගේ හා ගුරුභවතුන්ගේ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් එම විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ප්‍රදර්ශන කුටි 20ක් අද (18) පෙරවරු 9.00ට විවෘත කරන බව සහකාර පිරිවෙන් අධ්‍යක්ෂ හා වැඩසටහන් සංවිධායක හතරබාගේ සමිත හිමිපාණෝ සඳහන් කරති.
මෙම ජාතික පිරිවෙන් දින රාජ්‍ය මහෝත්සවයේදී අන්තර් පාරිවේණික සිසු නිපුණතා ඇගයීම මෙන්ම ජාතික පිරිවෙන් දිනය වෙනුවෙන් පවත්වන ලද විවිධ තරගාවලිවලින් ජයග්‍රහණය කළ සිසුන් සඳහා සහතික පත්‍ර සහ කුසලාන ප්‍රදානය කිරීම සිදු කෙරේ. මීට අමතරව, සමස්ත ශ්‍රී ලාංකේය පිරිවෙන් පද්ධතියේ උන්නතිය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටුකළ මහා සංඝරත්නය ප්‍රමුඛ විශේෂ ගිහි පැවිදි උතුමන් දස දෙනෙකු වෙත උපහාර පිදීම ද මෙහිදී සිදුකිරීමට නියමිතය.
















