වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කරමින් බුදු පිළිම වහන්සේ නමක් ත්‍රිකුණාමලය වෙරළ තීරයේ තැන්පත් කිරීමේ නඩුවේ වැඩිදුර විභාගය සඳහා එළඹෙන ජූලි මස 8 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස බළන්ගොඩ කස්සප හිමි ඇතුළු චුදිතයන්ට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් එම්. සම්සුඩීන් ඉකුත් 17 වැනිදා නියෝග කළේය. මෙම පැමිණිල්ලට අදාළව පළමු වරට අධිකරණයේ පෙනී සිටි සැකකරුවන් තිදෙනෙකු රුපියල් 10,000ක මුදල් ඇප සහ රුපියල් 100,000ක ශරීර ඇප මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර, ඔවුන් වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කළ බවට වරද පිළිගත් බැවින් රුපියල් 25,000ක දඩ මුදලක් ගෙවීමට ද නියම කෙරිණි. එලෙස දඩ සහ ඇප නියම වූයේ ඒ.එල්. සුගත් ප්‍රසන්න, කේ.බී. නිමල් සහ සමන් විජිත කුමාර යන තිදෙනාටය.
මෙම සිදුවීමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු මේ වන විට අධිකරණය මඟහරිමින් සිටින බව පොලීසිය මෙහිදී අධිකරණයට ප්‍රකාශ කළේය. මේ අතර බළන්ගොඩ කස්සප හිමි වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා විසින් ලිඛිත දේශනයක් ඉදිරිපත් කිරීම සඳහා අධිකරණයෙන් දිනයක් ඉල්ලා සිටි අතර, ඒ අනුව අදාළ ලිඛිත දේශනය ජූලි මස 8 වැනිදාට ගොනු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය. චුදිතයන් වෙනුවෙන් නීතිඥවරුන් වන කළණ පින්නදූව සහ මනෝජ් සෙබස්තියන් පෙනී සිටියහ.
















