චීන ඔත්තු බැලීමේ කටයුතුවලට සම්බන්ධ බවට සැක කෙරෙන වෙබ් අඩවි 13ක් තහනම් කිරීමට ඇමෙරිකානු නීති දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ආරක්ෂක අංශවල රහස්‍ය තොරතුරුවලට ප්‍රවේශ විය හැකි ඇමෙරිකානු ජාතිකයන් ඉලක්ක කර ගනිමින්, ව්‍යාජ උපදෙස් ලබාදෙන ආයතන ලෙස පෙනී සිටිමින් මෙම වෙබ් අඩවි පවත්වාගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ආරක්ෂක අවසර ලත් පුද්ගලයන්ගෙන් රහස්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා චීන නියෝජිතයන් විසින් මෙම වෙබ් අඩවි ජාලය භාවිත කර ඇති බවට ඇමෙරිකානු බලධාරීහු සැක කරති.
ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රේලියාව, කැනඩාව සහ නවසීලන්තය යන රටවල් ඇතුළත් ‘ෆයිව් අයිස්’ (Five Eyes) බුද්ධි සන්ධානය විසින් පසුගියදා කරන ලද අනතුරු ඇඟවීමකට අනුව මෙම පියවර ගෙන ඇත. චීන හමුදා බුද්ධි අංශ විසින් මෙම උපක්‍රමය භාවිත කරන බව එම සන්ධානය පෙන්වා දී තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මධ්‍යම විමර්ශන කාර්යාංශයේ (FBI) ප්‍රති-බුද්ධි අංශයේ සහකාර අධ්‍යක්ෂ රෝමන් රොෂාව්ස්කි ප්‍රකාශ කළේ, ඇමෙරිකාවේ අතිසංවේදී තොරතුරු ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙලෙස රාජ්‍ය නිලධාරීන් මුළා කර තොරතුරු ගැනීමට කරන සියලු උත්සාහයන් දිගින් දිගටම ව්‍යාර්ථ කරන බවයි.
















