තමන් ලොව පුරා රටවල් රැසක සංචාරය කර තිබුණද, ශ්‍රී ලංකාව තවමත් තමන්ගේ ප්‍රියතම සංචාරක ගමනාන්තයක් බව පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක වසීම් අක්‍රම් පවසයි. කොළඹ පැවැති ‘සොෆ්ට්ලොජික් ලයිෆ්’ (Softlogic Life) ආයෝජක සමුළුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, මෙරට පවතින ස්වාභාවික සුන්දරත්වය අනුව ශ්‍රී ලංකාව ලොව අංක එකේ නිවාඩු නිකේතනය බවට පත්වීමට සුදුසුම රටක් බවයි.
එම සමාගමේ නව සන්නාම තානාපතිවරයා ලෙස පත්වූ වසීම් අක්‍රම්, එහි නවතම රූපවාහිනී වෙළෙඳ දැන්වීමක් සඳහා ගාල්ල සහ මධ්‍යම කඳුකරය ඇතුළු සුන්දර ප්‍රදේශ කිහිපයක මෑතකදී සංචාරය කර තිබේ. එහිදී මෙරට පරිසරය, ගංගා සහ වෙරළ තීරය තමන් බෙහෙවින් සිත්ගත් බවත්, ශ්‍රී ලංකාව තවමත් ලොව ප්‍රධානම සංචාරක ගමනාන්තයක් ලෙස පෙරමුණට නොපැමිණීම ගැන තමන් පුදුම වන බවත් ඔහු කීය. 1985 වසරේදී නව යොවුන් ක්‍රීඩකයෙකු ලෙස මුලින්ම මෙරටට පැමිණි ඔහු, ඉදිරියේදී ලංකාවේ නැඟෙනහිර වෙරළ තීරයේ ද සංචාරය කිරීමට බලාපොරොත්තු වන බව වැඩිදුරටත් පැවසීය.
















