ඉරිදා දිනය දහම් පාසල් අධ්‍යාපනය සඳහා වඩාත් පහසු කරවීමේ අරමුණින්, එම දිනයේ පෙරවරු කාලයේ පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමට අදාළ නියෝග සකස් කිරීම පිළිබඳ සාකච්ඡා ආරම්භ වී තිබේ. බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී මෙම තීරණය පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කර ඇත.
අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැති මෙම රැස්වීමේදී, දරුවන්ගේ දහම් අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාමට බාධාවක් වන පෞද්ගලික උපකාරක පන්තිවල බලපෑම පිළිබඳව මන්ත්‍රීවරුන් කරුණු ඉදිරිපත් කර තිබේ. ඒ අනුව, ඉරිදා පෙරවරු කාලය දහම් පාසල් සිසුන් සඳහා වෙන් කර දීමට අදාළ නීතිමය හා පරිපාලනමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව සමඟ මේ වන විටත් සාකච්ඡා අරඹා ඇති බව නිලධාරීන් පෙන්වා දෙයි.
මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සහ පවතින අනෙකුත් ගැටලු සම්බන්ධයෙන් මෙම කාරක සභා රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර, ඒ සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අදාළ අංශවල නිලධාරීන් පිරිසක් සහභාගී වී ඇත. දරුවන්ගේ ආගමික හා සදාචාරාත්මක අධ්‍යාපනය ශක්තිමත් කිරීම සඳහා මෙවැනි පියවරක අවශ්‍යතාවය පවතින බව පෙන්වා දෙන අමාත්‍යාංශය, අදාළ පාර්ශ්වයන්ගේ සහයෝගය ඇතිව ඉදිරියේදී ස්ථීර තීරණයකට එළඹීමට බලාපොරොත්තු වේ.
















