ගෙවුම් ශේෂ ලේඛනයේ “දෝෂ සහ අතපසුවීම්” (Errors and Omissions) යන ශීර්ෂය යටතේ සටහන්ව ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 808ක මුදල සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන අසත්‍ය ප්‍රචාර ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා තරයේ ප්‍රතික්ෂේප කරයි. රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (COPF) එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධිපතිවරයා මෙම පැහැදිලි කිරීම සිදු කළේය.
මෙම අගය සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන් කරුණු කිහිපයක් පහත දැක්වේ.
ඕනෑම රටක ගෙවුම් ශේෂ ලේඛනයක් සැකසීමේදී ණය සහ බැර තීරු දෙකම සම්පූර්ණයෙන් සමාන වී ශුන්‍ය අගයක් ලැබීම ප්‍රායෝගිකව සිදුවන්නක් නොවේ. එබැවින් මෙම ඩොලර් මිලියන 808ක අගය මුදල් අස්ථානගත වීමක් නොව, ගිණුම් තුලනය කිරීමේ අයිතමයක් ලෙස වාර්තා වී ඇත.
රේගුව හරහා භාණ්ඩ දත්ත වාර්තා වුවද, ඊට අනුරූප මූල්‍ය ගනුදෙනු බැංකු පද්ධතිය හරහා වාර්තා වීමේදී ඇතිවන කාල පරතරයන් මෙම විෂමතාවයන්ට ප්‍රධාන හේතුව වේ. උදාහරණයක් ලෙස, භාණ්ඩ අපනයනය කළ ද එහි ආදායම රටට ලැබීමට මාස කිහිපයක් ගතවිය හැකි අතර, එම කාල පරතරය ලේඛනගත කිරීමේදී මෙවැනි අගයන් සටහන් විය හැක.
මෙය ඕනෑම ආර්ථික විද්‍යා ශිෂ්‍යයෙකු දන්නා සාමාන්‍ය තාක්ෂණික ක්‍රියාවලියක් බවත්, තාක්ෂණික දැනුම නොමැතිකම හේතුවෙන් ඇතැම් පිරිස් මෙම දත්ත වැරදි ලෙස අර්ථකථනය කර සමාජ මාධ්‍ය හරහා අසත්‍ය ප්‍රචාර පතුරුවන බවත් ඔහු අවධාරණය කළේය.
පසුගිය වසරේ මෙම අගය සෘණ ඩොලර් මිලියන 254ක් ලෙස පැවති බව සිහිපත් කළ අධිපතිවරයා, මෙම අගය ධන හෝ සෘණ අගයක් ලෙස ඕනෑම වසරක වාර්තා විය හැකි බවත්, මෙයින් කිසිදු මුදලක් හෝ වත්කමක් අස්ථානගත වී නොමැති බවත් සහතික කළේය.
















