මහ බැංකු පනත යටතේ නිකුත් කර ඇති සංඛ්‍යාන දත්ත වාර්තා කිරීම සහ අපනයන ආදායම් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමේ රෙගුලාසි දෙකකට රජයේ මූල්‍ය කමිටුව (COPF) අනුමැතිය ලබා දී ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජූනි 9 වන දින පැවති රැස්වීමේදී මෙම අනුමැතිය හිමිවිය.
අනුමත කරන ලද ගැසට් නිවේදනවලට අදාළ කරුණු පහත පරිදි වේ:
සංඛ්‍යාන සහ තොරතුරු වාර්තා කිරීමේ රෙගුලාසි (අතිවිශේෂ ගැසට් අංක 2479/54)
වාර්තා කළ යුතු සංඛ්‍යාන සහ තොරතුරු, වාර්තා කිරීමට බැඳී සිටින පාර්ශ්වයන් සහ රෙගුලාසි උල්ලංඝනය කිරීමේදී ගත හැකි පරිපාලන ක්‍රියාමාර්ග මෙමගින් නියම කර ඇත. රජයේ ණය දත්ත මහ බැංකුව විසින් ප්‍රසිද්ධ නොකිරීම සම්බන්ධයෙන් කමිටුව අවධානය යොමු කළ අතර, මහ බැංකුවේ ප්‍රකාශන හරහා රජයේ ණය තොරතුරු වෙත මහජන ප්‍රවේශය අඛණ්ඩව පවත්වා ගැනීමේ වැදගත්කම අවධාරණය කළේය. එසේම, සංචාරක ඉපැයීම් නිවැරදිව ගණනය කිරීම සඳහා දත්ත රැස්කිරීමේ සමීක්ෂණ වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී සාකච්ඡා විය.
අපනයන ආදායම් ආපසු ගෙන්වා ගැනීමේ රෙගුලාසි (අතිවිශේෂ ගැසට් අංක 2492/10)
‘2026 අංක 2 දරන ශ්‍රී ලංකාවට අපනයන ආදායම් ආපසු ගෙන්වා ගැනීමේ රෙගුලාසි’ යනුවෙන් නම් කර ඇති මෙම නව නීති, අපනයන ආදායම් මෙරටට ගෙන්වා ගැනීමේ දැනට පවතින නියාමන රාමුව සංශෝධනය කරයි. මෙම නව රෙගුලාසිවලට අනුව අපනයනකරුවෙකු ඕනෑම මාසයකදී මෙරටට ලැබෙන අපනයන ආදායම් භාවිතා කළ හැක්කේ අවසර ලත් ගෙවීම් සඳහා පමණක් වන අතර ඉතිරි ශේෂය අනිවාර්යයෙන්ම ඊළඟ මාසයේ 10 වන දින හෝ ඊට පෙර ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කළ යුතුය. 2024 වසරේ හඳුන්වා දුන් රෙගුලාසි යටතේ පැවති තුන් මසක කාලසීමාව, මෙම නව සංශෝධනය මගින් ඊළඟ මාසයේ 10 වන දින දක්වා කෙටි කර තිබේ.
















