අද (18) උදෑසන වන විට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පෙර නොවූ විරූ ලෙස තවදුරටත් පහත වැටී තිබේ. අමෙරිකාව සහ ඉරානය අතර අත්සන් තැබුණු ඓතිහාසික සාම ගිවිසුම මෙම ක්ෂණික මිල පහත වැටීමට ප්‍රධාන හේතුව බව වෙළෙඳ විශ්ලේෂකයින් පෙන්වා දෙයි.
මෙම නව එකඟතාවයත් සමඟ ඉරාන – අමෙරිකානු ගැටුම් නිල වශයෙන් අවසන් වන අතර, ඒ හරහා ලොව ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය යළි සාමාන්‍ය පරිදි විවෘත කිරීම, ඉරාන තෙල් අපනයනය සඳහා පනවා තිබූ අමෙරිකානු සම්බාධක ඉවත් කිරීම සහ ජාත්‍යන්තර වෙළෙඳපොළට යළිත් ඉරාන තෙල් සැපයුම මුදාහැරීම වැනි වැදගත් වෙනස්කම් සිදුවීමට නියමිතය.
පවතින තත්ත්වය අනුව, ඉදිරි දින කිහිපය තුළ ඉන්ධන මිල තවදුරටත් පහළ යනු ඇතැයි ආර්ථික විද්‍යාඥයින් අනාවැකි පළ කරති. මෙය ගෝලීය ඉන්ධන අර්බුදයට විශාල සහනයක් මෙන්ම, ශ්‍රී ලංකාව වැනි ඉන්ධන ආනයනය කරන රටවලටද ආර්ථික වාසි රැසක් ලැබෙනු ඇත.
















