රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් ඊයේ (17) දින කැඳවන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය ඉතා සාර්ථක අයුරින් අවසන් විය. රුපියල් මිලියන 70,000ක බිල්පත් ප්‍රමාණයක් නිකුත් කිරීමට නියමිතව තිබූ අතර, ඒ සඳහා රුපියල් මිලියන 129,423ක දැවැන්ත ලංසු ප්‍රමාණයක් ලැබීම කැපී පෙනෙන කරුණකි. ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් එම බිල්පත් ප්‍රමාණය පූර්ණ වශයෙන් ප්‍රතිග්‍රහණය කිරීමට පියවර ගැනුණි.
මෙම වෙන්දේසියේ විශේෂත්වය වන්නේ බිල්පත් ඵලදා අනුපාතිකයන් (Yield Rates) සුළු වශයෙන් හෝ පහළ යාමයි. දින 91 බිල්පත් ඵලදා අනුපාතිකය පදනම් අංක 07කින් ද, දින 182 බිල්පත් ඵලදා අනුපාතිකය පදනම් අංක 11කින් ද පහළ ගොස් ඇත. දින 364 බිල්පත් ඵලදා අනුපාතිකයේ කිසිදු වෙනසක් සිදුව නොමැත.
මෙම වෙන්දේසියේ සාර්ථකත්වය සහ පොලී අනුපාතිකවල සිදුවූ මෙම සුළු පහළ යාම, වෙළෙඳපොළ තුළ පවතින ද්‍රවශීලතාවය සහ ආර්ථික ස්ථාවරත්වය පිළිබඳ යහපත් සංඥාවක් ලෙස විචාරකයෝ දකිති.
















