මහනුවර තෙල්දෙණිය රෝහල අසළ මෝටර් රථයක තිබී පසුගිය දින (17) සොයාගත් තරුණියගේ සිරුර සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී තීරණාත්මක තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. මියගොස් ඇත්තේ අම්පාර රෝහලේ භෞතික චිකිත්සක වෛද්‍යවරියක ලෙස සේවය කළ වැලිගම ප්‍රදේශයේ පදිංචි පී.ආර්. ශ්‍යාමා දර්ශනී (33) මහත්මියයි.
පොලිස් විමර්ශනවලට අනුව, ඇය සහ ඇගේ පෙම්වතා වන කන්නෝරුවේ පදිංචි ටී.එම්.එස්. දිනෙත් දිසානායක (35) යන අය පසුගිය ජූනි 03 වන දින සිට නුවරඑළියේ පෞද්ගලික සංචාරක හෝටලයක රැඳී සිට ඇත. මෙම යුවළ අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පසු පෙම්වතා විසින් තරුණිය ඝාතනය කර ඇති බවට පොලිසිය සැක පහළ කරයි.
හෝටලයේ ආරක්ෂිත කැමරා දර්ශන පද්ධතිය පරීක්ෂා කිරීමේදී, තරුණියගේ මුහුණ වසා පෙම්වතා විසින් ඇයව ඔසවාගෙන යන අයුරු දත්ත පද්ධතියේ සටහන් වී තිබේ. අනතුරුව, මෝටර් රථයකින් සිරුර රැගෙන ගොස් තෙල්දෙණිය රෝහල අසළ දමා යන්නට ඇති බවට පරීක්ෂණ සිදුකරන නිලධාරීන් සැක පළ කරයි.
නුවරඑළිය පොලිසිය විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, තෙල්දෙණිය පොලිසියෙන් ලබාගත් තොරතුරු ඔස්සේ ඉදිරි නීතිමය පියවර ගැනීමට කටයුතු යොදා ඇත. මෙම අභිරහස් ඝාතනය පිළිබඳව පවතින සාක්ෂි සහ කැමරා දර්ශන පදනම් කරගනිමින් සැකකරු අත්අඩංගුවට ගැනීමට සහ සිද්ධියේ සම්පූර්ණ සත්‍යය අනාවරණය කර ගැනීමට පොලිසිය පරීක්ෂණ මෙහෙයවයි.
















