ශ්‍රී ලංකාවේ වත්මන් දුම්වැටි බදු ප්‍රතිපත්තියේ පවතින දෝෂ හේතුවෙන් රජයට රුපියල් බිලියන 9.4ක දැවැන්ත ආදායම් අහිමිවීමක් සිදුව ඇති බව ‘වේරිටේ රිසර්ච්’ (Verité Research) ආයතනයේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි. 2023 වසරේදී දුම්වැටි බදු සියයට 20කින් ඉහළ දැමුවද, පාරිභෝගිකයන් මිල අඩු දුම්වැටි සන්නාම වෙත යොමුවීම හේතුවෙන් 2024 වසරේදී අපේක්ෂිත බදු ආදායම ලබා ගැනීමට රජයට නොහැකි වී තිබේ.
මත්ද්‍රව්‍ය හා මධ්‍යසාර තොරතුරු මධ්‍යස්ථානය (ADIC) පවසන්නේ, පවතින බදු ව්‍යුහය රජයට අවාසිදායක වන අතරම, දුම්කොළ සමාගම්වල ලාභය ආරක්ෂා කර ගැනීමට හෝ ඉහළ නැංවීමට මග පාදා ඇති බවයි. 2017 සහ 2024 අතර කාලය තුළ රාජ්‍ය බදු ආදායම සියයට 27.5කින් පමණක් ඉහළ ගොස් තිබියදී, ලංකා දුම්කොළ සමාගමේ (CTC) බදු ඉවත් කළ ශුද්ධ ආදායම සියයට 92.4කින් ඉහළ ගොස් තිබීම මෙම අසමතුලිතතාවය මනාව පෙන්වා දෙයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව, පාරිභෝගිකයන් මිල අඩු සන්නාම වෙත මාරුවීම වැළැක්වීම සඳහා සියලුම දුම්වැටි වෙනුවෙන් ඒකාකාරී බදු ක්‍රමයක් (Uniform Tax System) අනුගමනය කළ යුතුය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය දුම්වැටි කාණ්ඩයේ බදු ප්‍රතිශතය 2023 දී පැවති සියයට 74 සිට 2024 සහ 2025 වසරවලදී සියයට 68.8 දක්වා පහත වැටී තිබේ. මෙය ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශිත සියයට 75ක බදු ප්‍රතිශතයට වඩා අඩු මට්ටමකි.
මේ අතර, දුම්පානය ශ්‍රී ලංකාවේ බෝ නොවන රෝග සඳහා ප්‍රධාන හේතුවක් බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙයි. නිල සංඛ්‍යාලේඛනවලට අනුව, දුම්පානය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දිනකට මරණ 50ක් පමණ වාර්තා වන අතර, එය වාර්ෂිකව 20,000ක පමණ අකල් මරණ සංඛ්‍යාවකි. මහජන සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීමට සහ රාජ්‍ය ආදායම තහවුරු කර ගැනීමට නම්, ජාත්‍යන්තර නිර්දේශයන්ට අනුකූලව දුම්කොළ බදු ප්‍රතිපත්තිය කඩිනමින් ශක්තිමත් කළ යුතු බව විශේෂඥයෝ අවධාරණය කරති.
















