ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය සංවර්ධන ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක කරන නව ප්‍රතිසංස්කරණ හේතුවෙන් පෙර පාසල් ගුරුවරුන්ගේ රැකියා කිසිසේත්ම අවදානමට ලක් නොවන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය අවධාරණය කරයි. මේ සම්බන්ධයෙන් පැතිර යන අසත්‍ය තොරතුරු සහ වැරදි වැටහීම් පිළිබඳව අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මෙම කරුණු පැහැදිලි කර ඇත.
මෙම ප්‍රතිසංස්කරණවල මූලික අරමුණ රැකියා අවස්ථා අඩු කිරීම නොව, පෙර පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහ වෘත්තීයභාවය ඉහළ නැංවීමයි. ඒ අනුව ජාතික වෘත්තීය අධ්‍යාපන පද්ධතිය සහ රජයේ ලියාපදිංචි වෘත්තීය පුහුණු ආයතන හරහා ගුරුවරුන් සඳහා වෘත්තීය සංවර්ධන වැඩසටහන් හඳුන්වා දීමට නියමිතය. මෙම පියවර හරහා ගුරුවරුන්ගේ වෘත්තීය ප්‍රමිතීන් ඉහළ නැංවීමටත්, ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත්, ඔවුන් ඉටු කරන සේවයට සමාජීය වශයෙන් වැඩි පිළිගැනීමක් ලබා දීමටත් බලාපොරොත්තු වේ.
ගුරුවරුන්ගේ සුභසාධනය වෙනුවෙන් රජය ගෙන ඇති පියවර පිළිබඳව ද අමාත්‍යාංශය මෙහිදී කරුණු දක්වයි. ඒ අනුව, මාසික “ගුරු අභිමාන” දීමනාව දැනටමත් රුපියල් 5,000 සිට රුපියල් 6,000 දක්වා ඉහළ නංවා ඇති අතර, එම දීමනාව තවදුරටත් වැඩි කිරීම සහ පෙර පාසල් ගුරුවරුන් සඳහා විශේෂ විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීම පිළිබඳව ද සාකච්ඡා ආරම්භ කර ඇත.
පෙර පාසල් ගුරු වෘත්තිය වඩාත් ගෞරවනීය, ආකර්ෂණීය සහ තිරසාර වෘත්තියක් බවට පත් කිරීම සඳහා රජය අඛණ්ඩව කැපවී සිටින බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
















