ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන මාර්ග ආරක්ෂණ ජාතික වැඩපිළිවෙළට සමගාමීව, අද (ජුනි 19) සිට අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලුම රියදුරන්ට සහ මගීන්ට ආරක්ෂිත ආසන පටි පැලඳීම අනිවාර්ය කර ඇත.
මෙම නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා රියදුරන් සහ මගීන්ට ලබා දී තිබූ මාස තුනක සහන කාලය අදින් අවසන් වන අතර, එතැන් සිට නීතිය කඩ කරන පුද්ගලයන්ට එරෙහිව දඩ මුදල් පැනවීමට නියමිතය.
නීති රීතිවලට අනුව සාමාන්‍ය මාර්ගවල ගමන් කරන වාහනවල රියදුරු සහ ඉදිරිපස ආසනයේ ගමන් ගන්නා මගියා ආසන පටි පැලඳීම අනිවාර්ය වේ. අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලුම වාහනවල රියදුරු සහ පසුපස ආසන ඇතුළු සියලුම මගීන් ආසන පටි පැලඳීම අනිවාර්ය වේ. මෙම නීතිය කඩ කරන පුද්ගලයන්ට රුපියල් 1,000 දක්වා දඩ මුදලක් ගෙවීමට සිදුවේ. ඉදිරියේදී පවතින නීතිමය ප්‍රතිපාදන අනුව රියදුරු, මගී සහ වාහන හිමිකරු යන සියලු පාර්ශ්වයන් මෙම වගකීමට යටත් වනු ඇත.
මෙම නව නීතිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් මෑතකදී කොට්ටාව අධිවේගී මාර්ග හුවමාරු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. අමාත්‍යාංශය විසින් “ආදරණීයයන් වෙනුවෙන් Click එකක්” යන තේමාවෙන් අත්පත්‍රිකා බෙදා දෙමින් රියදුරන් සහ මගීන් දැනුවත් කරන ලදී.
කොට්ටාවේ පැවති මෙම වැඩසටහනට පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර, ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
















