ඩිජිටල් ලෝකයේ ආරක්ෂිතව කටයුතු කිරීම සඳහා සහ සයිබර් ප්‍රහාරවලින් ඔබගේ බැංකු ගිණුම් මෙන්ම සමාජ මාධ්‍ය ගිණුම් ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය විසින් පහත දැක්වෙන වැදගත් උපදෙස් මාලාව නිකුත් කර තිබේ.
සෑම ගිණුමක් සඳහාම අද්විතීය සහ ශක්තිමත් මුරපද (Password) භාවිතා කරන්න. එකම මුරපදය ගිණුම් කිහිපයකට භාවිතා කිරීමෙන් වළකින්න. අකුරු, අංක සහ විශේෂ ලකුණු ඇතුළත් කර ශක්තිමත් මුරපද තෝරා ගැනීමට වගබලා ගන්න.
සියලුම බැංකු ගිණුම්, ඊමේල් සහ සමාජ මාධ්‍ය ගිණුම් සඳහා ද්වි-සාධක සත්‍යාපනය (2FA) සක්‍රීය කරන්න. Google Authenticator වැනි යෙදුම් භාවිත කිරීමෙන් ඔබගේ ගිණුම්වලට අමතර ආරක්ෂාවක් ලබා ගත හැක.
Facebook, Instagram වැනි සමාජ මාධ්‍ය වේදිකාවල රහස්‍යතා සැකසුම් (Privacy Settings) නිරන්තරයෙන් සමාලෝචනය කර, ඔබගේ පෞද්ගලික තොරතුරු ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන්න.
ඔබගේ ජංගම දුරකථනයේ සහ පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය (OS) සහ යෙදුම් නිරන්තරයෙන් යාවත්කාලීන (Update) කරන්න. නවතම යාවත්කාලීන මගින් ආරක්ෂක දුර්වලතා අවම කර සයිබර් ප්‍රහාරවලින් ආරක්ෂාව වැඩි කර ගත හැක.
පොදු Wi-Fi ජාල භාවිතා කිරීමේදී ඉතා සැලකිලිමත් වන්න. නොමිලේ ලබාදෙන පොදු Wi-Fi ජාලවලට සම්බන්ධ වී සිටින විට බැංකු ගනුදෙනු කිරීම හෝ සංවේදී පුද්ගලික තොරතුරු හුවමාරු කිරීමෙන් සම්පූර්ණයෙන්ම වළකින්න.
ඔබගේ ඩිජිටල් ආරක්ෂාව ඔබගේම වගකීමක් බව සිහි තබා ගනිමින්, සයිබර් අවදානම්වලින් ආරක්ෂා වීමට සෑම විටම අවධානයෙන් කටයුතු කරන්න.
















