විදේශ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රී ලාංකිකයන් අතරින් වැඩිම විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට එවන රට ලෙස කුවේටය පත්ව ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) සඳහන් කරයි.
අද දෙරණ ‘බිග් ෆෝකස්’ වැඩසටහනට එක්වෙමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කොසල වික්‍රමසිංහ මහතා මේ බව අනාවරණය කළේය. වාර්ෂිකව ශ්‍රී ලාංකිකයන් ලක්ෂ තුනක් පමණ විදේශ රැකියා සඳහා පිටත්ව යන අතර, ඉන් 80,000ක් පමණ හෙවත් සියයට 30කට ආසන්න පිරිසක් රැකියා සඳහා තෝරා ගන්නේ කුවේටයයි.
2025 වසරේදී පමණක් කුවේටයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් විසින් ඇමරිකානු ඩොලර් මිලියන 893ක් පමණ මෙරටට ප්‍රේෂණය කර ඇති අතර, ඒ අනුව විදේශ ප්‍රේෂණ හරහා වැඩිම විදේශ විනිමය ඉපැයීම් ලැබෙන රට බවට කුවේටය පත්ව ඇත.
විදේශ ප්‍රේෂණ එවන දෙවන ප්‍රමුඛ රට ලෙස කටාර් රාජ්‍යය හඳුනාගෙන ඇති අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) එම ලැයිස්තුවේ ඉහළින්ම පවතී. මීට අමතරව සෞදි අරාබිය සහ ඇමරිකා එක්සත් ජනපදය ද ශ්‍රී ලාංකිකයන්ගෙන් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ලැබෙන ප්‍රධාන රටවල් අතර වේ. ඉතාලිය, එක්සත් රාජධානිය, මාලදිවයින, ඕස්ට්‍රේලියාව සහ ඊශ්‍රායලය යන රටවල් ද ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රේෂණ ආදායමට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා විදේශ ප්‍රේෂණ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන බව ඔහු අවධාරණය කළේය.
















